අහුලගත්ත ගොසිප්

“නිදහස් අධ්යාපනය මේරට තුළ ස්ථාපිත නොකරන්නට මාගේ දියණිය වැන්නවුන් බිහිවන්නේ නැත”

අපේ රටේ දේශපාලනය තුළ බොහෝ දෙනාගේ අවධානය යොමු වූ දේශපාලඥයන් අතර සිටින තවත් එක් ප්‍රධාන දේශපාලඥයකු වශයෙන් පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දීමට හැකි අතර,

මෙරට දේශපාලනයේ බොහෝ අවස්ථාවල දී කැපී පෙනෙන චරිතයක් බවට පත් වූ මෙතුමා පිළිබඳ මේ දිනවල සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක් කරන කරුණක් තිබෙන අතර,

එතුමා ගේ වැඩිමහල් දියණිය වන අමා මන්දස්මිතා ඊයේ (22) මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු උපාධිය ලබා ගන්නට වූ අතර එම උපාධිය ලබා ගැනීම ලබා ගැනීම සම්බන්ධව

පාඨලී චම්පික රණවක මහතා තමන්ගේ ෆේස්බුක් ගිණුමේ දියණිය ලද ජයග්‍රහණය සම්බන්ධයෙන් සතුට පළ කරමින් සටහනක් තබන්නට කටයුතු කර තිබුණා.

එතුමා විසින් තැබූ සටහන පහතින් දැක්වේ,,

උපුටා ගැනීම පාඨලී චම්පික රණවක මහතාගේ ෆේස් බුක් ගිණුමෙන්

හයිමන් ජෝර්ජ් රික්ඕවර් නම් එක්සත් ජනපද නාවුක අද්මිරාල්වරයා න්‍යෂ්ටික සබ්මැරීනයේ පියා ලෙස හැඳින්වේ. ඔහු කළ වැදගත් ප්‍රකාශයක් වූයේ 1965 උපන් X පරපුර සිය ජීවිත කාලය තුළම ඉන්ධනයක් ලෙස තෙල් භාවිත කිරීමේ අවසානය දකිනු ඇති බවය. මා අයත් වන්නේ ඒ පරපුරටය.

මගේ දියණිවරු අයත් වන්නේ 1995 න් පසු ඇරඹෙන Z පරපුරටය.

මගේ වැඩිමහල් දියණිය අමා මන්දස්මිතා අද දින (22.12.2021) මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු උපාධිය ලබාගත්තාය. ඇයට පළමු පෙළ සාමාර්ථයක් ලබා ගැනීමට ද දෙපාර්තමේන්තුවේ පළමුවෙනියා වීමට ද හැකි විය.

ඇගේ ඒ ජයග්‍රහණයන් පිළිබඳව සඟවා ගත නොහැකි ආඩම්බරයක් මට තිබේ. 

ඇයට හා ඇගේ වසර කණ්ඩායමේ ඇගේ සහෝදර සියලු උපාධිධාරීන්ට මාගේ සුබ පැතුම්!

අමා මන්දස්මිතා මේ ගමන ආවේ විවිධ දුක් ගැහැට මැද ය. මා ඇයගේ පියා වීම නිසා ඇයට ගැරහුම්, අපහාස, අවමාන ලැබිණි. ඒවාට ඇය මට සමාව දෙනු ඇතැයි සිතමි.

එසේම ඒ සියලු හැලහැප්පීම් මැද ඇගේ මව ඇයට විශාල ශක්තියක් වූ බවද කිව යුතුමය. ඇය පාසල් ගියේත් විශ්වවිද්‍යාලයට ගියේත් පොදු ප්‍රවාහණයෙනි.

මා මෙන්ම ඇය ද විශ්ව විද්‍යාලයට ගියේ කොට්ටාව – ගල්කිස්ස 255 බස් රථයෙනි. මට ඉගැන්වූ ගුරුවරු ඇයගේ ද ගුරුවරු වූහ. මගේ සමහර සමකාලීනයෝ ද ඇයගේ ගුරුවරු වූහ.

ඒ සියළුදෙනාට ඇයගේ ජයග්‍රහණය ඉදිරියේ ස්තූතිවන්ත වෙමි.

එමෙන්ම ඇය උගත් විශාඛා විද්‍යාලයේ හිටපු විදුහල්පතිනිය ඇතුළු ගුරු භවතුනට ද මගේ ස්තූතිය පිරිනමමි. ඔවුනගේ ශක්තිය හා රැකවරණය නොවන්නට ඇය විශාඛාවේ හොඳම ශිෂ්‍යාව වීමට ඉඩ නොතිබිණි.

ඉංජිනේරු විද්‍යාවට අමතරව ඇය කළමනාකරණය හා විවිධ භාෂා ප්‍රවීණත්වය ද ලබා ගත්තාය. නීති විද්‍යාල ප්‍රවේශයෙන් ද ලංකාවේ පළමුවැනියා විය.

1943 දී කන්නංගර මහතා ප්‍රමුඛ ප්‍රගතිශීලීන් නිදහස් අධ්‍යාපනය මේ රට තුළ ස්ථාපිත නොකරන්නට මාගේ දියණිය වැන්නවුන් බිහිවන්නේ නැත.

ඇයට මා ඇමතුවේ ‘ලොකු පුතා’ කියාය. පිටස්තරයින් ඉදිරියේ දී ‘අපේ ලොකු මිනිහා’ විය. ඒ ඇමතුම ඇතැමුන් පුදුමයට පත් කළ ද ඇයට ඒ යෙදුම් ගැලපෙන්නේ තරුණියක් වුවද මවක් මෙන් සං‍යත හා පියෙක් සේ පරිණත නිසා ය.

දුවේ නුඹට රන්වන් අනාගතයක්!

උපුටා ගැනීම අවසන්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button