BYD විදුලි වාහන සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් – ඇඩ්වාන්ස් ගැනීම අත්හිටුවයි
BYD විදුලි වාහන සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - ඇඩ්වාන්ස් ගැනීම අත්හිටුවයි

තම පාරිභෝගිකයින් සහ පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමට ජෝන් කීල්ස් සී.ජී. ඔටෝ (JKCG) සමාගම නිල ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන ඇති BYD වාහන තොග කිහිපයක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ සිදුවෙමින් පවතින නඩු කටයුතු සහ අදාළ අනෙකුත් කරුණු සම්බන්ධයෙන්.
රඳවාගෙන ඇති විද්‍යුත් වාහන (EV) මුදා ගැනීමට අතුරු සහනයක් අධිකරණයෙන් ඉල්ලා සිටියද, අසාධාරණ ලෙස රඳවාගෙන ඇති ඉතිරි වාහන තොග නිෂ්කාශනය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව සමඟ සාකච්ඡා කරමින් සිටින බව සමාගම පවසනවා.
එමෙන්ම මේ අතර, රේගුව විසින් පත් කරන ලද අදාළ කමිටුවක් තාක්ෂණික කරුණු සලකා බැලීමට අපේක්ෂා කරන බව සඳහන් කරන JKCG සමාගම, වාහනවල මෝටර් ධාරිතාවේ නිමැවුම පිළිබඳ ඕනෑම සැකයක් තහවුරු කිරීමට සහ ඉවත් කිරීමට උපකාරී වන පරිදි, තෝරාගත් වාහන මාදිලි ජාත්‍යන්තරව පිළිගත් ස්වාධීන මෝටර් රථ රසායනාගාරයකදී පරීක්ෂාවට ලක් කිරීමට ඇති කැමැත්ත ස්ථාවරව පවත්වාගෙන ගොස් ඇති බවට අවධාරණය කරයි. මෙම පරීක්ෂණය මගින් නිරවද්‍යතාවය, විශ්වසනීයත්වය සහ ස්ථාවරත්වය සහතික වනු ඇතැයි සමාගම සඳහන් කරන්නේ.
එලෙස සියලු කටයුතු අවංකව සහ පාරදෘශ්‍යභාවයෙන් යුතුව සිදු කිරීමට සමාගම කැපවී සිටින බවත්, ස්වාධීන පරීක්ෂණ වාර්තාවේ සත්‍යතාව මත පමණක් විශ්වාසය තබන බවත් JKCG වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.
මෙම ගැටලුව අපේක්ෂිත කාලයට වඩා වැඩි කාලයක් ගත වීම නිසා විද්‍යුත් වාහන (EV) මාදිලිවල බෙදාහැරීමේ ස්ථිර කාලසීමාවක් ලබා දීමට නොහැකි වී ඇති බව JKCG සිය පාරිභෝගිකයින්ට දැනුම් දෙයි.
ඒ හේතුවෙන්, පාරිභෝගිකයින් සඳහා විකල්ප තුනක් සමාගම විසින් ඉදිරිපත් කර තිබෙනවා.
BYD SEALION 6 ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් වාහනයක් වෙත විශේෂ වට්ටමක් සහිතව මාරු වීම (ඔක්තෝබර් 10 වනදාට පෙර තහවුරු කළහොත්).
ඔවුන්ගේ මුදල් පොලී සමඟ ආපසු ලබා ගැනීම (ඔක්තෝබර් 10 වනදාට පෙර).
රේගු තීරණය හෝ බදු නිර්ණය කිරීම අවසන් වන තෙක් තමන්ගේ ඇණවුම පවත්වාගෙන යෑම.
තවද, විද්‍යුත් වාහන (EV) සඳහා ඇණවුම් භාර ගැනීම දිගටම සිදු කරන නමුත්, ගැටලුව විසඳෙන තුරු ප්‍රගති ගෙවීම් (down payments) ඉල්ලා නොසිටීමට සමාගම තීරණය කර ඇත.
ජෝන් කීල්ස් සී.ජී. ඔටෝ සමාගම අවධාරණය කරන්නේ, දැනට සිටින විද්‍යුත් වාහන (EV) සහ ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් විද්‍යුත් වාහන (PHEV) පාරිභෝගිකයින් සඳහා වන වගකීම් (warranties), අමතර කොටස් සහ අදාළ සේවා සඳහා BYD සහ JKCG වෙතින් සම්පූර්ණ සහය අඛණ්ඩව ලැබෙන බවයි.
තවදුරටත්, JKCG සමාගම ආරෝපණ යටිතල පහසුකම්, ප්‍රදර්ශනාගාර ජාලය පුළුල් කිරීම සහ අලෙවියෙන් පසු සේවා සහ ධාරිතා ගොඩනැගීම සඳහා වන ආයෝජන ඉදිරියට ගෙන යන බවට ද ප්‍රකාශ කරනවා.
නිෂ්පාදකයාගේ පිරිවිතරයන් සහ අනුකූලතා ලේඛන ගෝලීය වශයෙන් පිළිගෙන ඇති බැවින්, අදාළ බලධාරීන් වෙත සිය සම්පූර්ණ සහයෝගය ලබා දී ඇති බව සමාගම ප්‍රකාශ කරයි









