උණුසුම් පුවත්දේශිය පුවත්

සබරගමුවේ නවකවද සිද්ධියට පෙත්සමක්

සබරගමුවේ නවකවද සිද්ධියට පෙත්සමක්

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ චරිත් දිල්ෂාන් දයානන්ද බරපතළ නවකවද සිද්ධියකට මුහුණ පා සිය දිවීනසාගැනීමේ සිද්ධිය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වා වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඊට අමතරව විශ්වවිද්‍යාල ඇතුළු රාජ්‍ය අධ්‍යාපන ආයතන තුළ නවකවදය පිටු දැකීමේ වැඩපිළිවෙලක් සකස්කරන ලෙස බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් ඉල්ලා ඇත.

මෙම පෙත්සම් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ රජීව් අමරසූරිය, එහි ලේකම් චතුර ගල්හේන යන අය විසින් ඉදිරිපත් කර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස සබරගමුව විශවවිද්‍යාලය, එහි උපකුලපතිවරයා ඇතුළු පාලක සභාවේ සාමාජිකයින්, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක ලේකම්, පොලිස්පති, වැඩබලන පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා, නීතිපතිවරයා ඇතුළු 69 දෙනෙකු නම් කර සිටියි.

නීතිඥ ජී.ජී. අරුල් ප්‍රගාසම් මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම තුළින් සඳහන් කර ඇත්තේ පසුගියදා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවකුවන චරිත් දිල්ෂාන් දයානන්ද නමැති තරුණයකු බරපතළ ලෙස නවකවදයකට මුහුණ දී මරණයට පත්වීමේ සිද්ධිය පිළිබඳව සලකා බලා මෙම මහජන සුභසාධන නඩුකරය ඉදිරිපත් කිරීමට තීරණය කළ බවයි.

එමඟින් රාජ්‍ය අධ්‍යාපන ආයතන තුළ නවකවදය පිටුදැකීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබීම හේතුවෙන් මෙවැනි අවාසනාවන්ත සිද්ධීන් වාර්තා වූ බව පෙත්සමෙන් පෙන්වා දී ඇති අතර මෙවැනි අවාසනාවන්ත සිද්ධීන් හේතුවෙන් විශ්වවිද්‍යාල ඇතුළු රාජ්‍ය අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන සිසුසිසුවියන්ට දැඩි අගතියක් සිදුවන බවත් ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු වීම අත්‍යවශ්‍ය බවත් පෙත්සමෙන් පෙන්වා දී ඇත.

එමෙන්ම මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන නවකවදය හේතුවෙන් මරණයට පත් වූ අදාළ සිසුවාගේ මරණය තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකන් නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර විශ්වවිද්‍යාල තුළ නවක වදය පිටුදැකීම සඳහා පවතින නීති හා රෙගුලාසි ක්‍රියාත්මක කරන ලෙස ඒවායේ බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් එවැනි වැරදි ක්‍රියා කරන පුද්ගලයින්ට එරෙහිව 1998 අංක 20 දරණ නවකවදය වැළැක්වීමේ පනත යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර සංගමය අධිකරණයෙන් අයැද සිටියි.

එමෙන්ම ඊට අමතරව නවකවදයෙන් සිසුන් පීඩාවට පත්වීම වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙසත් ඊට අමතරව එවැනි සිද්ධීන්වලින් පීඩාවට පත්වන සිසුසිසුවියන්ට වින්ඳිතයින් ආරක්ෂා කිරීමේ පනත යටතේ අවශ්‍ය ආරක්ෂාව ලබාදිය යුතු බවටත් නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button