උණුසුම් පුවත්දේශිය පුවත්

වයඹ ජාතික විද්‍යාපීඨයේ සිසුවියගේ මරණයට හේතුව විද්‍යාපීඨයේ ගුරුවරුන් ද?

වයඹ ජාතික විද්‍යාපීඨයේ සිසුවියගේ මරණය

වයඹ ජාතික විද්‍යාපීඨයේ දෙවෙනි වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක් එම විද්‍යාපීඨයේම නේවාසිකාගාරයක් තුළදී සියදිවි හානි කරගැනීමේ සිද්ධියට අදාළව විද්‍යාපීඨ බලධාරීන්ගෙන් සහ සිසුන්ගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කර ගැනුනා.

එමෙන්ම විද්‍යාපීඨයේ බලධාරීන්ට එරෙහිව විද්‍යාපීඨයේම සිසුසිසුවියන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වෙමින් සඳහන් කළේ, ඇය සියදිවි හානිකර ගැනීමට එම විද්‍යාපීඨයේ ගුරුවරුන් වග කිව යුතු බවයි.

මහනුවර, තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචි සංජීවනී කුමාරි නම් මෙම සිසුවිය මීට වසර දෙකකට පෙර වයඹ ජාතික විද්‍යාපීඨයට ඇතුළත් වී ඇති අතර ඇය එම විද්‍යාපීඨයේම නේවාසිකාගාරයේ නතර වී සිය අධ්‍යාපන කටයුතු හදාරා ඇත.

කෙසේ වෙතත් දින ගණනාවක් සිට කිසියම් සිදුවීමක් සම්බන්ධයෙන් ඇය කනස්සල්ලෙන් සිට ඇති බවට ඇගේ යෙහෙළියන් පවසා ඇති අතර එවන් පසුබිමකයි ඇය පසුගියදා නේවාසිකාගාරයේ කාමරය තුළදීම කවුරුත් නොසිටින අවස්ථාවක ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබුණි.

මේ සම්බන්දයෙන් ඇයගේ මිතුරු මිතුරියන් පවසන්නේ ඇයට විද්‍යාපීඨයේ ගුරුවරුන්ගෙන් දිගින් දිගටම එල්ලවූ හිරිහැර හමුවේ ඇය සිය දිවි නසාගෙන ඇති බවටයි.

මේ සම්බන්ධයෙන් ඇගේ මිතුරියන් මුහුණු පොතේ සටහනක් ද තබා තිබුනේ මෙලෙසින්,

“…..චූටි කාලේ ඉඳන් මල් වගේ අපිව හදලා විද්‍යාපීඨ තේරිලා මගේ කෙල්ල කියලා හරි උජාරුවෙන් මේ තැනට එයාලා අපිව එවන්නේ පන්සලකට කියලා හිතලා. ඉතිං ඔව් එහෙම තැන් වෙන්න ඕන වුණත් අවාසනාවකට එහෙම වුණේ නැහැ. වචනයක් වැරදෙන තැන තනතුරු හිස් මුදුනේ තියන් මානසිකව වධ දෙනවා. අපේ කතා දන්නෙත් අපිමයි. තනතුරුවලට එන්න ඕනේ ජීවිතේ ඇරියස් නැති මිනිස්සු. හැඟීම් දැනෙන මිනිස්සු….”

මේ අතර මියගිය සංජීවනී කුමාරි සිසුවියගේ මරණය වැනි මරණ නැවත ඇති නොවීමට වග බලා ගන්නා ලෙසට බලධාරීන්ට බල කරමින් වයඹ ජාතික විද්‍යාපීඨය ඉදිරිපිට එම විද්‍යාපීඨයේ සිසු සිසුවියන් නිහඬ විරෝධතාවක නිරත වුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button