Lak Derana News

දේශිය පුවත් · January 11, 2026 · 1 min read · 1 views

වෛද්‍යවරයෙක් වීමට සිහින දුටු රසිකගේ ඉරණම විසඳුණු හැටි

රිය අනතුරකට ලක්වීමෙන් වසර 16ක් පුරා එක්තැන් වී සිටින බණ්ඩාරගම අළුබෝමුල්ල, මහබෙල්ලන ප්‍රදේශයේ ජීවත්වන රසික නම් තරුණයා සුවපත් කරගැනීම සඳහා ඔහුගේ දෙමාපියන් විසින් උදව් උපකාර ඉල්ලා සිටී.

වෛද්‍යවරයෙක් වීමට සිහින දුටු මෙම තරුණයා 2010 වසරේ කරාපිටිය වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතරතුර මෙලෙස රිය අනතුරට ලක්වී ඇත.

මිතුරෙකුගේ යතුරුපැදියෙන් නිවස වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර ඉන් ඔහුගේ හිස විදුලි කණුවක ගැටී තිබේ.

එම අනතුරෙන් පසුව ඔහුට දෙපයින් නැගී සිටීමට හෝ කතා කිරීමට හැකියාවක් ලැබී නොමැත.

සුවහසක් ජනතාව සුවපත් කිරීමට පෙරුම් පීරු සිය පුතු වයස අවුරුදු 24දී එක්තැන්වීම නිසා මාපිය යුවළ පසුවන්නේ දරාගැනීමට නොහැකි වේදනාවකිනි.

පුතුගේ අනාගතය වෙනුවෙන් ඉපැයූ සියලු දේපළ, ධනය මෙම දෙමාපිය යුවළ වසර 16ක් පුරා සිය එකම පුතු යළි සුවපත් කරගැනීම සඳහා වැය කර ඇති අතර මේ වනවිට ඔවුන්ට ඉතිරිව ඇත්තේ තමන් පදිංචි ඉඩම පමණකි.

මෙම තරුණයා කොළඹ පෞද්ගලික රෝහලක ඉන්දීය වෛද්‍යවරයකු යටතේ ප්‍රතිකාර ලබන අතර මසකට ඖෂධවලට පමණක් රුපියල් 70,000ක් සහ ශරීරික ව්‍යායාම්වලට රුපියල් 90,000ක මුදලක් වැයවන බව දෙමාපියන් පවසයි.

දිනෙන් දින වයෝවෘද්ධ වන මේ මාපිය යුවළගේ එකම උත්සාහය වී ඇත්තේ ඔවුන් දෙදෙනා මෙලොවින් සමුගැනීමට පෙර සිය පුතු යළිත් පෙර මෙන් දැකීම වන අතර ඒ සඳහා දෙස් විදෙස් පරිත්‍යාගශීලි ඔබේ දායකත්වය ඔවුන් අපේක්ෂා කර සිටී.

Related News

Comments

Leave a comment