Lak Derana News

උණුසුම් පුවත් · May 29, 2025 · 1 min read · 1 views

ලොව ප්‍රකෝටිපතියා එලෝන් මස්ක් ට්‍රම්ප් හැර යයි

ලොව ප්‍රකෝටිපති එලෝන් මස්ක් අමෙරිකානු ට්‍රම්ප් පරිපාලනයෙන් ඉවත් වන බව ධවල මන්දිරය උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ධවල මන්දිර නිලධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ එලෝන් මස්ක් අද රාත්‍රියේ සිය කටයුතු අවසන් කරනු ඇති බවයි.

ට්‍රම්ප් පරිපාලනයේ නව ප්‍රතිව්‍යුහගත කිරීම්වලට සෘජු දායකත්වයක් දැක්වූ එලෝන් මස්ක් එම කටයුතු අවසන් වීමෙන් පසු මෙලෙස ට්‍රම්ප් පරිපාලනය හැර යන බවද විදෙස් මාධ්‍යයන්හි සඳහන්.

කෙසේ වෙතත් ට්‍රම්ප් පරිපාලනයේ නව ප්‍රතිව්‍යුහගත කිරීම්වලට එල්ල වූයේ දැඩි විරෝධයක්.

ඒ අතර ලොව පුරා සෑම රටකටම පැනවූ නව තීරුබදු ප්‍රධානයි.

මේ අතරතුර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැන වූ බදු ක්‍රියාත්මක කිරීම අවහිර කරමින් අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින්ම ඊයේ තීන්දුවක් ලබා දුන්නා.

මෑන්හැටන්හී ජාත්‍යන්තර වෙළඳ අධිකරණය තීන්දු කර ඇත්තේ ට්‍රම්ප් විසින් ගෝලීය තීරුබදු පැනවීමෙන් ඔහුගේ අධිකාරි බලය ඉක්මවා ගොස් ඇති බවයි.

එවන් තත්ත්වයක් තුළයි ලොව ප්‍රකෝටිපති එලෝන් මස්ක් අමෙරිකානු ට්‍රම්ප් පරිපාලනයෙන් ඉවත් වීමට තීරණය කර ඇත්තේ.
එලොන් මස්ක් ට්‍රම්ප් පරිපාලනයට එක් වුණේ රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ විශේෂ රජයේ නිලධාරියෙකු ලෙසයි.

ඒ, දින දින 130ක කාලයකටයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයේ වියදම් අඩු කිරීමේ කාර්ය සාධක බලකායට ඔහු නායකත්වය ලබා දුන්නා.
කෙසේවෙතත් එලෝන් මස්ක්ගේ දේශපාලන ක්‍රියාකාරකම් විරෝධතාවලට  තුඩු දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇතැම් ආයෝජකයින් ඔහුගෙන් ඉල්ලා ඇත්තේ ට්‍රම්ප්ගේ උපදේශක ලෙස තම කාර්යය අතහැර ටෙස්ලා සමාගම වඩාත් සමීපව කළමනාකරණය කරන ලෙසයි.
ලොව ප්‍රකෝටිපති එලෝන් මස්ක්ගේ “ස්පේස් එක්ස්” සමාගමේ සිහිනයක් වූ “ස්ටාර් ශිප්” රොකට්ටුව අභ්‍යවකාශ ගත කර තප්පර 30න් ඊයේ විනාශ වී යන්නේ මේ අතරතුරයි.

අමෙරිකාවේ ටෙක්සාස් සිට අභ්‍යවකාශයට යොමු කළ කාර්ය මණ්ඩලයක් නොමැති වූ මෙම රොකට්ටුව දියත් කර මිනිත්තු 30කට පසු විනාශ වී ගියා.

යානයේ ඉන්ධන කාන්දුවක් ඊට හේතු වූ බවත් යානය පාලනයකින් තොර වූ බවත් මෙහෙයුමට එක්වූවන් පවසා තිබුණා.

Related News

Comments

Leave a comment