Lak Derana News

සයුරෙන් එහා පුවත් · October 02, 2025 · 1 min read · 1 views

රෝගීන්ගේ බෙහෙත් වට්ටෝරුවට වෛද්‍යවරුන්ගේ අත්අකුරු බලන්න අධිකරණ නියෝගයක්

Prescription drugs

වෛද්‍යවරුන් විසින් රෝගීන් සඳහා ලබාදෙන බෙහෙත් වට්ටෝරු පැහැදිලි අත්අකුරින් ලිවිය යුතු බවට වන නියෝගයක් ඉන්දීය අධිකරණයක් විසින් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

යම් පුද්ගලයෙකුගේ ජිවිතය හෝ මරණය තීරණය වන එවැනි සටහනක් පැහැදිලි අකුරින් ලබාගැනීම මූලික අයිතිවාසිකමක් වන බවයි ඉන්දීය පන්ජාබ් සහ හර්යානා මහාධිකරණය අදාළ නියෝගය ලබා දෙමින් පෙන්වා දෙන්නේ.

ස්ත්‍රී දූෂණ නඩුවකට අදාළව අධිකරණයට ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තාවක එක් අකුරක් හෝ කියවා ගත නොහැකිවීම පිළිබඳ අවධානය යොමු කරමින් මහාධිකරණය අදාළ නියෝගය ලබාදී ඇති බව සඳහන්.

රෝගීන් වෙත මුද්‍රිත බෙහෙත් වට්ටෝරුවක් ලබාදීමට නොහැකි නම් ලබාදෙන වට්ටෝරුව පැහැදිලි අකුරින් ලිවිය යුතු බව අවධාරණය කර ඇති පන්ජාබ් සහ හර්යානා මහාධිකරණය වෛද්‍ය විද්‍යාලවල විෂය නිර්දේශයට අත්අකුරු පිළිබඳ පුහුණුවක් ඇතුළත් කළ යුතු බව ද දැනුම් දී තිබෙනවා.

නමුත් රෝගීන් බහුල වීමත් සමග වෛද්‍යවරුන් අතිශය කාර්යබහුල වීම, බෙහෙත් වට්ටෝරුවල දුර්වල අත්අකුරු පැවතීමට හේතු වී ඇති බව අධිකරණ නියෝගය පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය වෛද්‍ය සංගමය ප්‍රකාශ කර කරනවා.

මේ වන විට වෛද්‍යවරුන්ගේ අපැහැදිලි අත්අකුරු හේතුවෙන් රෝගීන්ගේ ජීවිත තර්ජනයට ලක්වූ අවස්ථා ලොව පුරා රටවල් රැසකින් වාර්තා වී ඇති අතර 1999 වසරේ අමෙරිකානු වෛද්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාවකට අනුව වෛද්‍යවරුන්ගේ අත්අකුරුවල දෝෂ හේතුවෙන් පමණක් පුද්ගල මරණ 7000ක් සිදුව ඇත.

Related News

Comments

Leave a comment