දේශපාලන පුවත්

රට වහන්න කියා ලියුම් ගහලා බැනුම් අහපු විමල්ලා ඊයේ කැබිනට්ටුවට ඇවිත් – හ්ම්..සද්දයක් නෑ..

ඊයේ (23) සවස පැවැත්වී ඇති කැබිනට් මණ්ඩල රැස්වීමට ආන්දෝලනයට තුඩු දී සිටින විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් සහභාගී වී ඇති බව වාර්තා වේ.

සෞඛ්‍යමය හේතු මත සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වී ඇති මෙම හමුවට අදාළ ඇමැතිවරුන් සහභාගී වී ඇතත් ඔවුන් ඉකුත් සතියේ නිකුත් කළ ආන්දෝලනාත්මක ලිපිය සම්බන්ධයෙන් කිසිදු සාකච්ජාවක් සිදුව නැති බව දැනගන්නට ඇත.

එහිදී ජනාධිපතිවරයා ඇතුලු කණ්ඩායම පවතින තත්ත්වය යටතේ රටේ ආර්ථිකය සහ හිගයකින් තොරව ‌ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම ආදිය සම්බන්ධයෙන් සාකච්ජා කොට ඇති බව වාර්තා වේ.

පසුගිය සතියේ් රට සති 3කට වසා දමන ලෙසට ආණ්ඩුව ඇතුළේ සිටින පක්ෂ 10ක් අස්සන් තැබූ ලිපියක් මාධ්‍යයට නිකුත් කෙරුණු අතර පසුව ‌පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන් මාධ්‍ය සාකච්ජාවක් කැදවා ඊට දැඩි ප්‍රහාර එල්ල කිරීමට පියවර ගෙන තිබිණ..

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු ආණ්ඩුවේ සෙසු පක්ෂවල කණ්ඩායම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක බලල අතක් ලෙස කටයුතු කරන්නේදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රශ්න කරයි.

එම පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා කියා සිටියේ කැබිනට් මණ්ඩලයේදී රට වසා දමන්නැයි කිසිදු යෝජනාවක් නොකර එළියට විත් රට වසා දමන්නැයි ජනාධිපතිවරයාට ලිපි යැවීම පිළිගත නොහැකි බවයි.

එම මාධ්‍ය හමුවේ දී අදහස් පළකරමින් පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා කියා සිටියේ මෙම කණ්ඩායම මේ ආකාරයේ ක්‍රියාවක් කළ පළමු අවස්ථාව මෙය නොවන බවත් යළිත් එවන් කටයුතු නොකරන ලෙස දැඩි තීන්දුවක් ගන්නා ලෙස ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බවත් ය.

මෙම පිරිස සන්ධාන රජයේ කැබිනට් ඇමති ධුර දරමින් විවිධ වරප්‍රසාද ලබමින් ජනතාව හමුවේ බොරු වීරයන් වීමට උත්සාහ දරන බව ද ඔහු චෝදනා කළේය.

Back to top button