දේශීය පුවත්

කව්ද මේ කිලී මහරාජා..? ක්‍රිකට් වල වැඩියෙන් ළකුණු ගැහුවොත් කිලීගෙන් තෑගී – ඔබ නොදත් කතාව මෙන්න..!

1943 වසරේ මැයි 19 වනදා උපත ලැබූ රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් නොහොත් කිලී මහරාජා උපතින් හින්දු බැතිමතෙක් වූ අතර, සිය අධ්‍යාපනය කොළඹ රාජකීය විද්‍යාලයෙන් ලැබූ ඔහු වයස අවුරුදු 16 දී තම වැඩිමහල් සහෝදරයා සමග එක්ව, සිය පියා ආරම්භ කළ ව්‍යාපාරවලට සම්බන්ධ විය. මේ අතර සිය පියාගේ අභාවයෙන් පසුව වයස අවුරුදු 21 දී ආර් රාජමහේන්ද්‍රන් සිය සහෝදරයා සමග එක්ව පියාගේ ව්‍යාපාර පාලනය සියතට ගත්තේ ඔහුගේ නැවුම් සිතුවිලි වලට ඉඩ හසර වෙන් කරමිනි.

ව්‍යාපාර ලෝකය..

එතැන් සිට ‘කිලී’ රාජමහේන්ද්‍රන් හෙවත් රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මියයන මොහොත දක්වාම අපේ රටේ පමණක් නොව, ලෝකයේම ගෞරවයට, ආදරයට පාත්‍රවූයේ ව්‍යාපාරිකයෙක් පමණක්ම නොවී, විවිධ ක්ෂේත්‍ර ගණනාවක විප්ලවීය වෙනස්කම් කළ මහා යුග පුරුෂයෙක්ම වූ බැවිනි.

පියාගේ ව්‍යාපාර මුවහත් කරමින් යන ගමනේදී ඔහු නිරන්තරයෙන්ම බැලුවේ අපේ රට ලෝකය තුල ඔසවා තබන්නේ කොතනින්ද යන මුල අල්ලා ගැනීමටයි.. ඒ අනුව ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලද ප්‍රථම ආයෝජන ව්‍යාපෘතියේ නිර්මාතෘවරයා වෙමින් ලෝක ප්‍රසිද්ධ දැවැන්ත ආයෝජන ගණනාවක් ශ්‍රී ලංකාවට ගෙන්වා රටේ ආර්ථිකයට විශාල පිටිවහලක් ලබාදීමට රාජමහේන්ද්‍රන් දායක විය.

මේ අතරින් ප්‍රමුකස්ථානය ගන්නේ එවකට ලෝකයේ දැවැන්තම ව්‍යාපාර වූ, ඇන්කර් (වර්තමානයේ හඳුන්වන්නේ ෆොන්ටේරා) , එස්ලෝන්, පෙප්සි, ඩයලොග් වැනි සමාගම් මෙරට තුළ ස්ථාපනය කිරීමේ පුරෝගාමියා වෙමිනි.

සිරස FM  / සිරස TV..

ශ්‍රීලංකාවේ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය කණපිට හරවමින්, එකල ශක්තිමත් රූපවාහිනී කර්මාන්තය නිසා ස්වාභාවික මරnaයක් අද්දර සිටි ගුවන්විදුලියෙන් බොහෝ විට ඇසුණේ පිරිත් සහ ප්‍රවෘත්ති පමණි. නමුත් සිරස එෆ් එම් යනු මෙම මියයන කර්මාන්තයේ පෙරළිකාර සන්නාමය වූ අතර තවත් බොහෝ තරඟකරුවන්ට වෙළඳපොළට පැමිණීමට ජීවය ලබා දුන්නේය.

සිරස එෆ්එම් පරීක්ෂණ සම්ප්‍රේෂණය 1993 දෙසැම්බරයේදී දියත් කරන ලද අතර නිල දියත් කිරීම 1994 මාර්තු 2 වන දින සිදු විය. සිරස එෆ්එම් සතුව නවීනතම ඩිජිටල් තාක්‍ෂණය, නවතම සම්ප්‍රේෂණ උපකරණ ගෙන්වීමට රාජමහේන්ද්‍රන් මහතා ක්‍රියා කරන ලදී..එය ශ්‍රී ලංකාවට මුළුමනින්ම නව සංකල්පයකි..එය නැවුම් සිතුවිල්ලකි.

දිවයින පුරා පැහැදිලි විකාශනයක් සහිතව ගුවනට විසිරුනු පළමු සිංහල ගුවන් විදුලි නාලිකාව සිරස එෆ්එම් ය. පැය 24 පුරාම නොනවතින සම්ප්‍රේෂණයක් ශ්‍රී ලංකාවේ දියත් කළ පළමු අවස්ථාව මෙය විය. දුරකථනයෙන් සවන්දෙන්නන් සමඟ අන්තර්ක්‍රියාකාරී ගුවන්විදුලි වැඩසටහන් දියත් කළ ප්‍රථමයා සහ ලොව ප්‍රථම වරට සිංහල ගුවන් විදුලි මධ්‍යස්ථානය බවට පත්වූ වෙබ් විකාශයක් සමඟ සම්බන්ධ වූ ප්‍රථමයා ද සිරස බවට පත්විය..

දේශපාලනය..

කිලී මහරාජා කියූ සැනින් හඳුන්වන්නේ උග්‍ර යූඇන්පී කාරයෙක් හැටියටය..එහෙත් රාජමහේන්ද්‍රන් යනු හැමදාමත් තමන් සහ තමන්ගේ මතය තිබෙන්නේ ජනතාව සමගින් බවට ක්‍රියාකාරීව ඔප්පු කර පෙන්වූ මිනිසෙකි..

බලයේ සිටින දේශපාලන නායකයන්, පක්ෂ තමන් පෞද්ගලිකව කෙතරම් මිතුරූ වූවත්, තම ව්‍යාපාර වලට කෙතරම් වාසි ගෙන දුන්නත්,එම දේශපාලකයන් ජනතාවට එරෙහිව යමින් සමස්ත පද්ධතියම ගඳගස්වමින්, ජනතාවට පීඩනය ගෙනඑමින්, ජනතා මුදල් ගසාකන විට කිලී කරන්නේ තම මිල, මුදල් පමණක් නොව තම ශ්‍රමයෙන්,තමන්ගේ ව්‍යාපාර වලින්, තමන්ට අයිති මාධ්‍යයෙන් එම ජනතා විරෝධි පාලකයන්, එම දේශපාලකයන්ට එරෙහිව ක්‍රියා කිරීමයි.. එයට විරුද්ධව ගොස් ජනතාවාදී දේශපාලකයන් බලයට පත් කිරීමයි..එම නිසාම රාජමහේන්ද්‍රන් යටතේ පැවති ප්‍රධාන මාධ්‍ය ආයතනය වූ සිරස මාධ්‍ය ජාලය එම දේශපාලකයන්ගේ දැඩි විවෙව්නයට ලක්විය.

මෑත කාලයේ රාජපක්ෂ පාලනයට එරෙහිව යමින් 2015 පොදු අපේක්ෂයා වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරවීම උදෙසා දැවැන්ත කාර්යභාරයක් කලේ රාජමහේන්ද්‍රන් මහතා බව ප්‍රකට කරුණකි.

එහෙත් ඔබට මතක ඇති එම කාලයේදී එහෙත් තමන් ගොඩ නැගූ ආණ්ඩුවෙම වංචාවන් හසු වූ විට ඊට එරෙහිව ඉලපත ගත්තේද මේ රාජමහේන්ද්‍රන් මය..2015 යහපාලන ආණ්ඩුවේ මහ බැංකු බැඳුම්කර වංචාවට එරෙහිව දැඩිසේ විවේචනයන් සිදුකරමින් ඊට අදාලව ජනතාව දැනුවත් කරමින් විශාල කාර්යභාරයක් සිරස මාධ්‍යජාලය සිදුකරන ලදී.

එහෙත් මහ පුදුමයට පත් කාරණාව වන්නේද, මෙම සිදුවීම් නිසා සහ එක්සත් ජාතික පක්ෂයේ විවිධ ගැටලු නිසා උග්‍ර රනිල් විරෝධිව එවකට රාජමහේන්ද්‍රන් මහතා සිටියත්, ව්‍යවස්ථා විරෝධීව මහින්ද රාජපක්ෂ මහතාව අගමැති කරවූ දින 52 ආණ්ඩුවට එරෙහිව ගියේද රාජමහේන්ද්‍රන් මහතාය.
උග්‍ර රනිල් විරෝධිව සිටියත් ව්‍යවස්ථානුකූලව අගමැති ධූරය රනිල් වික්‍රමසිංහට ලැබිය යුතු බවට තම සියලු ශක්තීන් යොදා විශාල මෙහෙයක් ඉටු කලේ තම දේශපාලනික සතුරෙක් වුනත් රනිල් වික්‍රමසිංහ යනු එම අවස්ථාවේදී, එම ක්‍රියාවලියේ වින්දිතයා වූ බැවිනි..

එලෙසින් ඔහු සෑම විටම පැත්ත ගත්තේ පීඩනයට ලක්වූ පුද්ගලයාගේ පැත්තය..එය 2003 ,2004 මහින්ද රාජපක්ෂට මෙන්ම, 2018 දි රනිල් වික්‍රමසිංහට පොදු විය. එයට හොඳම උදාහරණය වන්නේ 2020.05.27 දින පැතිකඩ වැඩසටහනේදී වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාජමහේන්ද්‍රන් ගැන කියු වචනය…එය මෙසේය,

“මම කිලීව අඳුරන්නේ හැත්ත ගණන්වල ඉඳන්..මං හිතන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න ඔහුව අඳුරන පරණම එයා සම්බන්ධකම තියෙන්නේ මාත් එක්ක කියලයි මම කියලයි මම විශ්වාස කරන්නේ..මම ස්තුති කරන්න ඕනේ..එදා බණ වැඩපිළිවෙල යනකොට අනිත් ඔක්කොම අය බෑ කිව්වා මේක විකාශය කරන්න..එතකොට සිරස තමයි ඉදිරිපත් වෙලා ඒක දිගින් දිගටම ගෙනාවේ ඒකේ අවසානය දක්වා..

එහි වීඩියෝව පහතින්,

ආර් රාජමහේන්ද්‍රන්ගේ අභාවය වෙනුවෙන් ශෝක ප්‍රකාශයක් නිකුත් කළ අගමැති මහින්ද රාජපක්ෂ සඳහන් කොට සිටියේ මෙවැන්නකි
“ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි ආර්. රාජමහේන්ද්‍රන් මහතා මෙරට රූපවාහිනිය සහ ගුවන් විදුලිය නව්‍යකරණයට ලක්කළ පෙර ගමන්කරුවෙක්,

එල්ල වූ චෝදනා – අපේ සංස්කෘතිය කෑවේ සිරස තමයි.

රාජමහේන්ද්‍රන් මහතාගේ ව්‍යාපාර අතර හදබැඳගත් ව්‍යාපාරය වූ සිරස මාධ්‍ය ජාලය ඔස්සේ ඔහු ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් නව සංස්කෘතිය ඇතැමුන්ගේ විවේචනයට ලක්ව තිබෙන බවද සටහන් කල යුතුමය.. විශේෂයෙන්ම ඉන්දියානු ටෙලිනාට්‍ය යනාදිය විකාශය කල කාල වකවානුව තුළ බොහෝ දෙනෙක් ඒවා නරඹන්නට පටන් ගත් අතර, ඒ හා සමානවම ඒ කෙරෙහි විරෝධාකල්පයක්දයක්ද රට තුළ ගොඩ නැගුනි..කෙසේ හෝ එයද අනෙකුත් නාලිකා වැළඳ ගත්තේය. එමෙන්ම මාධ්‍ය ආධිපත්‍යයක් තුළින් රටේ දේශපාලනය හැසිරවීමට උත්සහ කිරීම පිළිබඳවද ඇතැමුන් සිය අප්‍රසාදය පල කර සිටිනවා.

කෙසේ වෙතත් තම ව්‍යාපාර කටයුතු වලින් අන්තවාදීව හෝ ජා’ ති ‘වාදීව, පක්ෂග්‍රාහීව කටයුතු නොකිරීම පිලිබඳවත්, ප්‍රධාන වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙනුත් රාජමහේන්ද්‍රන් මහතාව සමාජයේ බෙහෙවින් පැසසුමට ලක්ව ඇත.

ක්‍රිකට් වලට කල සේවය.

එවකට ගාමිනි දිසානායක මහතා ක්‍රිකට් සභාපතිව සිටි යුගයේ සිටි ක්‍රිකට් උප සභාපතිවරයා වූයේ රාජමහේන්ද්‍රන් මහතාය.. 1982 දී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් වරම් දිනා දීම සඳහා රාජමහේන්ද්‍රන් මහතා දැඩි වෙහෙසක් ගත්තේය.. අවසානයේදී තම පෞද්ගලික වියදමින් එංගලන්තයට ගොස් ශ්‍රීලංකාව ටෙස්ට් වරම් දිනාගත් බවට වූ සහතික කල කඩදාසිය රැගෙන මව්බිමට පැමිණියේද රාජමහේන්ද්‍රන් මහතාය..

කිලීගෙන් පඩි – යවන්නේ ක්‍රිකට් පුහුණුවීම් වලට

රාජමහේන්ද්‍රන් මහතා සහ ක්‍රිකට් යනු ගහට පොත්ත මෙන් බැඳී තිබූ තවත් එක් විෂයකි..ඔහු සෑම විටම ක්‍රීඩකයන් ගැන සොයා බැලුවේ පෞද්ගලිකවම සොයා බලමිනි.. අගහිඟකම් ඇති දක්ෂ ක්‍රීඩයන්ට තම ව්‍යාපාර වල රැකියා අවස්ථා ලබා දුන් රාජමහේන්ද්‍රන් මහතා ඔවුන්ව යැව්වේ ක්‍රිකට් පුහුණුවීම් කරන්නටය..එයට අන්කිසිවෙක් නොව, රොෂාන් මහානාම, අර්ජුන රණතුංග වැනි පතාක යෝධයන් සාක්ෂි දරනු ඇත..එමෙන්ම රාජමහේන්ද්‍රන් මහතා ශ්‍රීලංකා බැඩ්මිටන් සංගමයේ සභාපතිව කලක් කටයුතු කරන ලදී..

උපතින් හින්දු – හැදුවේ පන්සල්..

රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් නොහොත් කිලී මහරාජා උපතින් හින්දු බැතිමතෙක් වූවත් බෞද්ධාගමික පුනර්ජ්ජීවනයට දැඩි සේ ක්‍රියා කල මනුෂයෙකි..ඒ බවට හොඳටම සාක්ෂි දරන්නේ ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ය.. රට පුරාම වෙහෙර විහාරස්ථාන රාශියක් රාජමහේන්ද්‍රන් මහතාගේ නොමසුරු දායකත්වයෙන් තැනුනු අතර එය මෙරට පමණක් නොව පිටරටටද ව්‍යාප්ත කිරීමට රාජමහේන්ද්‍රන් මහතා ක්‍රියා කලේ ඉතා රහසිගතය..
විශේෂයෙන්ම ප්‍රසිද්ධියේ පෙනී සිටීමට පවා අකමැති වූ රාජමහේන්ද්‍රන් මහතා හැමවිටම ප්‍රකාශ කරන්නේ “මගෙන් ඕවා සිද්ධ වුනාම ඇති..ආය මීඩියා වල මගේ පින්තූර යන්නට ඕනෑ නෑ” කියාය..

කෙසේ හෝ අද වන විට තමන් විශ්වාස කරන ප්‍රතිපත්තීන් සහ ඒ දර්ශනය උදෙසා මිල මුදලෙන් පමණක් නොව තමන්ගේ මනසින්ද වෙහෙසී, සුවහසක් ජනතාවට හුස්මක් ගැනීමට, ආර්ථිකව සහ අනෙකුත් තම ශක්ති ප්‍රමාණයෙන් කැපවූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට හුස්මක් දීමට සමත්කම් දැක්වූ රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් නොහොත් කිලී මහරාජා මහතා අප අතර අද ජීවමානව නැතත්, ඔහු සිදුකල පෙරළිය මේ ලක් දෙරණ තුළ සෑමදාම ජීවමානව පවතී..!

මිහිඳු ෆොන්සේකා.

Back to top button