තරු හුට පට

රටක් වටින පුතෙක් පොළොවට යට කළාට පස්සේ මට කොයින්ද ආයේ ජීවිතයක් – දසුන්ගේ අම්මා

තනියම ඉන්න කොට මට හිතෙනවා මගේ පුතාගේ මර’ණයට එක්තරා විදිහකට මමත් වගකියන්න ඕන ද කියලා.. මම එයාට පුංචිම කාලේ දුන් අවවාද ගැහැනු ළමයෙකුට අනවශ්‍ය විහිළුවක් කරන්න එපා. රවටන්න එපා. අපහාස කරන්න එපා. එයා පිළිපැද්දා. අන්තිමට එයා ලියපු ලියුමෙ ලියලා තිබුණා “මගේ මර’ණයට කවුරුත් වග කියන්න ඕනෙ නෑ” කියලා. ඒත් මං දන්නවා මගේ පුතා මැ’රුණේ.. ජීවිතය අත්හැරලා ගියේ එයා මේ ලෝකෙන් හොයපු ආදරයයි..එයා විශ්වාස කරපු ආදරයයි නිසා කියලා.

“මම ඉපදිලා තියෙන්නේ අනුරාධපුරේ. මං ඉපදිලා දවස් තුනකින් පමණ මාව මේ ලෝකෙට බිහි කරපු අම්මා මාව වෙනත් කෙනෙකුට හදාගන්න දීලා තියෙනවා මම ඉපදුන රෝහලේ   දොස්තර මහත්තයාට. ඒ දොස්තර මහත්තයත් එයාගෙ නෝනත් මාව ආදරෙන් බලාගෙන තියෙනවා…”

සමාජය ආශ්‍රය කරලා, විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා උපාධි අරන් තිබුණට ආදරය ඉදිරියේ බොහෝ දෙනෙක් අසරණ වෙනවා. දසුන්ටත් ඒ ටිකම සිද්ධ වුණා කියලා මට හිතෙනවා.

මට අවුරුදු විස්සක් වෙද්දි පුතා මගේ කුසට ආවා. මමත් මගේ මහත්තයත් තැන් තැන්වල නැවතිලා හිටියා…. දසුන් නිශාන්තගේ මව

“මං ඔයාට ආදරෙයි..” මේ වචන තුන නෑසූ කෙනෙක් හෝ නොකියූ කෙනෙක් අප අතර සිටියොත් ඒ ඉතා කලාතුරකිනි. එහෙත් මෙහෙම කියන කීදෙනෙක්, මෙහෙම ඇසූ කීදෙනෙක් ඒ ආදරය සැබෑ ලෙසම පරිත්‍යාග කර ඇත්ද? ඒ ආදරය සැබෑ ලෙස අත් විඳ ඇත්ද? “මං ඔයාට ආදරෙයි..” කියූ නිසාම ඒ වචන කෙරෙහි විශ්වාසය තැබූ කී දෙනෙක් දුක් කම්කටොලුවලට ලක් වී අවසානයේ මානසික පීඩනයට ලක් වී ජීවිතය හැර ගොස් ඇත්ද? ජීවත්වෙමින් මැරී මැරී ජීවත්වන උන් කොපමණ ඇත්ද? ඒ අතර ආදරය සැබෑ ලෙසම අත්විඳින අය ද කොපමණ ඇත්ද?

ඒ කොහොම වුණත් ඔහු මීට වසර හතරකට පමණ පෙර තම ජීවිතය හැර ගියේ ජීවත්වන උන්ගේ හදවතේ සදාතනික කඳුළක් ඉතිරි කරය. “මං ඔයාට ආදරෙයි..” කියූ ඒ මිහිරි වදන් කෙරෙහි වඩ වඩාත් විශ්වාසය තැබූ නිසා යැයි කීම අතිශයෝක්තියක් නොවේ.
ඒ අන්කිසිවකු නොව අප සිත් ගත් ආදරණීය රංගන ශිල්පියකු වූ දසුන් නිශාන්ත යි.

ඔහු  ජීවත්ව සිටියදී ටෙලිනාට්‍ය තිස් හතරකට හා චිත්‍රපට හතරකට රංගන දායකත්වය ලබා දී තිබෙයි. ඔහුගෙ කලා දිවිය ඉතා කෙටි එකක් වුවද, ඔහු තමා පිළිබඳව මතකය රසිකයන් තුළ සදාතනික කරන්නට සමත්ව විය. ඒ මතකය නිසාම අප පසුගියදා දසුන්ගෙ ආදරණීය මව (එච්. එම්. එල්. එස්. හේරත්) සමඟ කතාබහ කරන්නට නිට්ටඹුව, කත්තොට ඔවුන්ගේ නිවසට ගොඩ වුණා. දසුන්ගේ වියෝවෙන් වසර හතරකට ආසන්න කාලයක් ගත වුව ද ඒ ආදරණීය අම්මාගේ නෙතඟින් හැලෙන කඳුළු, හදවතින් නැඟෙන සෝසුසුම් තවමත් පහ වී ගොසින් නැත.

“ආදරය කියන්නේ නරක දෙයක් නොවෙයි. මේ සමාජයේ හැමෝම ආදරේ ලැබිය යුතුයි. ආදරය කළ යුතුයි. ඒත් ඒ ආදරය නිසි වයසේදී, නිසි කෙනෙකුගෙන් ලැබිය යුතුයි. ආදරය රාගය හා පටළවා ගත්තාම එතැන සිද්ධ වෙන්නේ ඛේදවාචකයක්. රටක් රාජ්‍යයක් වටිනා මගේ පුතා මට අහිමි වුණේ එයා පතපු, එයා හොයපු ඒ අවංක ආදරය එයාට නොලැබුණ හන්දා. ආදරය කරන ආදරය හොයන අය මුලින්ම තමන්ට අවංක වෙන්න ඕනෙ….”

දසුන්ගේ අම්මා දෑසට නැඟුණු කදුළු පිස දමමින් අපත් සමඟ කතා කරන්න ට පටන් ගත්තා.

සැබෑ මව් සෙනෙහස ඇති මවකට තම දරුවෙකු අහිමි වීම තුළ ඇතිවන දුක සිය ජීවිත කාලය තුළම සුසුම්ලෑවත්, කදුළු වැගුරුවත් සමනය කරගත නොහැකි ය.

“ජීවිතයේ දිය ආපහු හැරිලා බලද්දී ජීවිතේ හැමදේමත් අත්රින්න ඕන කියල හිතුන වාර ගණන් අප්‍රමාණයි. ඒත් අම්මා කෙනෙකුට ජීවිතේ එහෙම අතරින්න බෑ… ඉවසල ඉවසල බැරිම තැන ආපහු ඉවසන්න පටන් ගන්නවා. මොනතරම් දුක් කම්කටොළු ජීවිතයේ තිබුණත් අම්මා කෙනෙක්ට ජීවිතේ අත්හරින්න බෑ.. මටත් එහෙමයි. එක දරුවෙක් අකාලේ මහපොළොවට යට කළා. මට තවත් දරුවෙක් ඉන්නවා රැක බලාගන්න..

ඔබේ ජීවිතය දිහත් ටිකක් හැරී බලමුද?

මම ඉපදිලා තියෙන්නේ අනුරාධපුරේ. මං ඉපදිලා දවස් තුනකින් පමණ මාව මේ ලෝකෙට බිහි කරපු අම්මා මාව වෙනත් කෙනෙකුට හදා ගන්න දීලා තියෙනවා මම ඉපදුන රෝහලේ දොස්තර මහත්තයාට. ඒ දොස්තර මහත්තයත් එයාගෙ නෝනත් මාව ආදරෙන් බලා ගත්තා. ඒ නුවර අම්මයි අප්පච්චියි මට හුඟාක් ආදරෙන් මගේ සියලු අවශ්‍යතාවන් ඉටු කරල දුන්නා. ඒ පවුලෙ මට වැඩිමල් අයියලා හතර දෙනෙක් හිටියා. ඒ නිවුන්නු. මම ඒ ගෙදරට අරන් ගියාට පස්සේ තව මල්ලි කෙනෙක් හම්බ වුණා. ඇත්තටම මම ඒ පවුලට එකතු වෙච්චි කෙනෙක් කියලා දැනගත්තේ මට අවුරුදු 12ක් වුණාට පස්සේ නැනීගෙන් මගෙ අම්මා කවුද කියලා අහලා මම නුවර අම්මට කරදර කළා. ඒ දවස්වල නුවර අප්පච්චි වැඩ කළේ මඩකලපුවේ. ඔහු නිවාඩු ආවම නුවර අම්මා මගේ කරදර කිරීම කිව්වා. අප්පච්චි මාව අනුරාධපුරය ගෙදරට එක්කන් ගියා. අනුරාධපුරය අම්මා මට කවදාවත් දුවේ කියලා කතා කරලා නෑ. අනුරාධපුර ගෙදර මට සහෝදර සහෝදරියෝ දහ දෙනෙක් විතර හිටියා. ඒත් මට මහා තනිකමක් දැනුණා. මට කවුරුවත්ම ආදරේ නෑ කියලා සිතුවිල්ලක් මගේ හිතට ආවා. මොන සැප පහසුකම් තිබුණත් මට කවුරුවත් ආදරයක් නෑ කියලා දැනුණාම හිතට දැනෙන දේ වචනයෙන් කියලා නිම කරන්න බෑ.

ඔබත් කාලේකදී ආදරය හොයපු කෙනෙක්…
ඔව්… මගේ නුවර අම්මා අප්පච්චි. අනුරාධපුර අම්මා අප්පච්චි ඔය කවුරුත් මට ආදරේ නෑ කියලා, මට හිතුණා… මම නුවර ලොකු කාන්තා ඉස්කෝලෙකට ගියේ. මට යන්තම් අවුරුදු 18 ක් වෙද්දී ආදරේ කරන්න කෙනෙක් හම්බ වුණ. මම හිතුවා මේ තමයි මගේ ආදරය. මෙයා තමයි මට වැඩියෙන්ම ආදරේ කරන්නෙ කියලා.

එතකොට එයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා. එයාගේ ගම් පළාත යාපනයේ. ඒ කාලේ යුද්ධය තිබුණා. දකුණේ භීෂණය ක්‍රියාත්මක වෙමින් තිබුණා. ඒ දෙපැත්තෙන්ම අපි තැලෙන්න ගත්තා. මට අවුරුදු විස්සක් වෙද්දී මගේ පුතා මගේ කුසට ආවා. මමත් මගේ මහත්තයත් තැන් තැන්වල නැවතිලා හිටියා.

මහත්තයාගේ ගෙදරින් අකැමති වුණා. අපේ අයත් අපේ සම්බන්ධයට අකැමැති වුණා. පස්සේ මහත්තය රට ගියා එයාගෙ දෙමාපියන් ළඟට. පුතා ලැබෙන්න ඉද්දී මම ඇල්පිටියේ හිටියේ. දරුවා හම්බවෙන්න රෝහල් ගත වුණොත් මරණවා කියලා ගෙට ලියුම් දාලා ගියා. කොහොම හරි මම කළුබෝවිල රෝහලේදී මගේ රත්තරන් පුතාව මේ ලෝකෙට 1988.06.08 බිහිකළා.. එයාට නමක් හදාගන්නවත් මට සහයට කවුරුත් හිටියේ නෑ. මම තමයි එයාට දසුන් නිශාන්ත කියලා නම තිබ්බේ. දරුවත් අර ගෙන රෝහලෙන් එළියට ආවට මට යන්න එන්න තැනක් තිබුණු නෑ. හැබැයි මම මගේ ආදරේ විශ්වාස කරලා කටයුතු කළා. තනියම දරුවා හදාගන්න කුලියට වැඩ කළා. මම දන්නේ නෑ.. මගේ රත්තරං පුතා මම ළඟ නැති වෙලාවේ කුසගින්නේ හිටියද? එයාට පිපාසයට වතුර ටිකක් හම්බ වුණාද? එයාට කවුරුවත් ගැහුවද? බැන්නද? කියලා.. අනේ ඇත්තමයි මං ඒවා දැනගෙන හිටියේ නෑ… පුතා කවදාවත් ඒ ගැන මට කිව්වෙත් නෑ..

ඔබ හා දසුන් අතර වෙනස්ම ආකාරයේ බැඳීමක් තියෙන්නෙ…
ඔව්.. පුතා එයාගේ තාත්තව දකින්නේ ඉපදිලා අවුරුදු 6 කට විතර පස්සේ. එහෙම වුණේ එයාගේ තාත්තා ලංකාවට ආවේ සෑහෙන කාලෙකට පස්සේ. දසුන් කුඩා කාලයේ ඉඳලා අපි දෙන්නට අපි දෙන්නා විතරයි. එයාට අවුරුදු දාහතරක් පහළොවක් වෙද්දී මම එයාට කියලා දුන්නා “පුතේ ගැහැනු ළමයෙකුට කවදාවත් අනවශ්‍ය විහිළුවක් කරන්න එපා. අපහාස කරන්න එපා.. එයාලා අපහසුතාවයට පත් කරන කිසිම දෙයක් කරන්න එපා. එහෙම වුණොත් ඒවා ඔයාගේ අම්මට දැනේවි” කියලා. ඒ නිසා එයා ගැහැනු ළමයින්ට ලොකු ගෞරවයක් දැක්වූවා. එයා කරන කියන දේවල් මට කිව්වා.

දසුන්ගෙ තාත්තා ලංකාවට ආවට පස්සේ අපි ආපහු නුවර පදිංචියට ගියා. දසුන් ධර්මරාජෙට ඇතුළු කළා. ඊට පස්සේ අපිට ආපහු සැරයක් නුවරින් එන්න සිද්ධ වුණා. ඒ පාර අපි ගෙවල් හදාගෙන වේවැල්දෙණියේ පදිංචි වුණා.. පුතා ඉස්කෝලේ ආවේ ගියේ එහෙ ඉඳලා. එයා ඉස්කෝලෙ ගිහිං එනකොට හැන්දාවෙ පහ විතර වෙනවා. ඒක එයාට හුඟාක් මහන්සියි.

ඒ නිසා ගම්පහ ඉස්කෝලයක් හෙව්වා. අපිට දසුන් ඇතුල් කරන්න ලැබුණේ මීරිගම කනිෂ්ඨ විද්‍යාලයට. ඒක මිශ්‍ර පාසලක්. එතකොට දසුන්ට අවුරුදු දහසයක් විතර ඇති. එයාගෙ හිත ගිය ගැහැනු ළමයෙක් හිටියා. දසුන්ගේ තාත්තා කිව්වා “පුතේ.. දැන් ඔයා ඉගෙන ගන්න. පස්සේ ආදරය කරන්න” කියලා. එයා ඒක පිළිගත් බව අපට පෙන්නුවා. නමුත් ඊට පස්සේ කලින් හිටපු දසුන් නොවේ. එයාගෙ වෙනස්කම් මට දැණුනා. තාත්තා ආපහු රට ගියෙත් ඔය කාලේ. එයා මං ගැන හුඟාක් සැලකිලිමත් වුණා. මටත් නිතර නිතර අවවාද කළා. පුතා හොඳට ඉගෙන ගත්තා. උසස් පෙළ කළේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන්. විශ්වවිද්‍යාල යන්න ලකුණු දෙකක් මදි වුණා. නමුත් එයා උත්සාහය අත්හැරියේ නෑ.

දෙවන වර විභාගය ලියලා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. එයා ඒ සියල්ල හරි සමබරව කළා. වෙළෙඳ දැන්වීම්වල පෙනී හිටියා. ඉගෙන ගත්තා. රඟපාන්න ගියා.

දසුන් පොඩි කාලේ භරි දඟයි නේද?
දඟ කියන්නේ දඟ එකේ හොඳ එක කිව්වොත් තමයි වඩා හොඳ. හැබැයි දඟයි.. ඒ කිව්වට එයා හැමෝටම හරි ආදරෙයි. එයාට මල්ලි කෙනෙක් ලැබෙන්නේ එයාට අවුරුදු 13 කට පස්සේ. එයා මල්ලිට ගොඩක් ආදරෙයි. අයියයි මල්ලියි අතරේ තිබුණේ පුදුමාකාර බැඳීමක්.

මං කිව්වනේ මුලින්ම දසුන් පුතා ඉගෙන ගන්න හරි දක්ෂයි කියලා. හැබැයි එයාට පන්ති කාමරේ පස්සම පේලියේ අන්තිම ඩෙස් එක තමයි ලැබුණේ. අන්තිමට වැඩක් පැවරුවාම එයා තමයි මුලින්ම ඒක කරන්නේ. පන්තියේ පැවරුණු වැඩේ කරලා නැඟිටින කොට පන්තියේ යාලුවො කෑගහනවා ටීචර් දසුන් නැඟිට්ටා අපිට ගහන්න කියලා. ඒ තරම්ම දඟයි. හැබැයි එයාට අවුරුදු පහළොවක් දහසයක් වෙද්දි, එයා හරිම තැන්පත්. ඒක සිද්ධ වුණේ කොහොම ද කියන්න මම දන්නෙ නෑ. සමහර විට එයා අනිත් අය කෙරෙහි දක්වපු ගෞරවය, ආදරය නිසාම වෙන්නත් පුළුවන්.

කලා ක්‍ෂේත්‍රයේ ටික කලකින්ම එයා ස්ථාවර වෙනවා…
ඔව්.. දසුන් පුතා හැමවෙලාවෙම උත්සාහ කළේ තමන්ට පැවරෙන වැඩේ හරියට කරන්න. එයා චිත්‍රපටි හතරක රඟපෑවා. චැලෙන්ජස්, දේදුනු ආකාසේ, ඒ ලෙවල්, සුපර් සික්ස් වගේ ටෙලි නාට්‍යය තිහකට වැඩිය රඟපෑවා. එයාගේ ජීවිතේ වෙනස් කළේ මුතුමලි ටෙලිනාට්‍යයි.

දසුන් ආදරේ හොයපු කෙනෙක්?
ඔව්… එයාගේ පළමු ආදරය අමතක කළේ නෑ. එයා ස්ථාවර වෙලා ඇවිත් මගෙන් ඇහුවම මේ මම කසාද බඳින්න ඕන කියලා. මට ඒකට විරුද්ධ වෙන්න හේතුවක් තිබුණේ නෑ. ඒ නිසා මං එයාට ආශිර්වාද කළා. එයා විවාහ ගිවිස ගැනීම සිදු කළා.. ගේ හදල උත්සවයක් ගන්න ඕනත් කිව්වා. දසුන් වැඩ ඉවර වුණාම රාත්‍රියේම ගෙදර එනවා. ඒත් විවාහ ගිවිස ගැනීමෙන් පස්සේ එයා ගෙදර යන එක අඩු කළා.. ඒ ගැන මම ඇහුවම පුතා කිව්වේ “අම්මේ.. නෝනා මට ගොඩක් ආදරෙයි. මං නෝනාගෙ ගෙදර ඉන්නවා” කියලා. අනේ අවුරුදු තුනක් ගෙවිලා ගියා. ළමයා ගේ හදලා ඉවර කරනවා කිව්වා දෝණිව ගෙදර එනවා කිවුවා. ඒ එකකටවත් ඔයා තාම ලැහැස්ති නෑ කියලා මම කිව්වා ඒකට පුතාගේ උත්තරේ වුණේ “මම දෝණි ගෙදර එක්ක එන්නෙත් නෑ… මම ගෙවල් හදන්නෙත් නෑ…” කියන එක.

පස්සෙ පුතා පිළියන්දල පැත්තේ බෝඩිමක නතර වුණා. හේතු විදිහට කිව්වේ කලා කටයුතු කරන්න පහසු නිසා කියලා. පස්සේ මම දැනගත්තා එයාගෙ පළමු ආදරය එයාගෙන් හුඟක් දුරස් වෙලා කියලා. මුතුමලී ටෙලිනාට්‍ය රඟපාන්න ගිහිල්ලා එයාට ආයෙත් ආදරයක් හම්බ වෙලා තිබුණා. මං ඒවා දැනගත්තෙ පස්සෙ.

සමාජ ආශ්‍රය කරලා, විශ්වවිද්‍යාල ගිහිල්ලා උපාධිය අරන් තිබුණට ආදරය ඉදිරියේ බොහෝ දෙනෙක් අසරණ වෙනවා. දසුන්ටත් ඒ ටිකම සිද්ධ වුණා කියලා මට හිතෙනවා. ආදරේ කරනවා කියලා මිනිස්සුන්ට මේ තරම් වංචනිකව හැසිරෙන්න පුළුවන්ද කියලා මට නම් හිතා ගන්නවත් බෑ. ඒත් මිනිස්සු එහෙම හැසිරිලා තමන්ට අවංකවම ආදරේ කළ අයට ජීවිතය පවා එපා කරවනවා.

මම මුලින් කිව්වනෙ, මම ආදරේ නිසා ගොඩක් දුක් වින්ද එක දසුන් දන්නවා.. හැබැයි මට ජීවිතේට මුහුණ දෙන්න ලොකු ශක්තියක් වුණා මගේ ආදරය.. අපි එක ළඟ එකට නොහිටියත් අවුරුදු ගණන් දුරස් වෙලා හිටියත් දසුන්ගේ තාත්ත මට කොච්චර ආදරේ කරනවා ද මගේ ආදරේට කොච්චර ගෞරවයක් දෙනව ද කියන එක මම දන්නවා. තමන් ආදරේ කරන කෙනා කොහේ හරි ඉඳලා ඕනෑම දේකට මම ඔයත් එක්ක ඉන්නවා කියන ශක්තිය දෙන එක ජීවිතේ ජයගන්න ලොකු ආත්ම ශක්තියක්. ආත්ම විශ්වාසයක් ඇති කරන්නවා.

ඒත් මගේ පුතාට ආත්ම ශක්තියක් වෙන්නට ආත්ම විශ්වාසයක් ඇති කරවන්නට එයා විශ්වාස කරපු අය ළඟ, එයා ආදරය දුන්න අය බලා සිටියෙ නෑ.

දසුන්ගේ වෙනස්කම් අම්මට දැණුනෙ නැද්ද?
දසුන්ගේ පුංචි කාලේ ගෙවුණේ මගෙත් එක්ක. ඒ නිසා එයාගේ හැම වෙනස්කමක් මට දැනුණා. එයා කරන කියන හැම දෙයක්ම මට කිව්වා. ඒත් එයා පළමුවෙන්ම විශ්වාස කරපු ආදරය එයාට ලැබුණට පස්සේ අපිත් එක්ක කතාබහ කරන එක එයා අඩුකළා. එයා නිහඬ චරිතයක් බවට පත් වුණා. ඒක එයා ජීවිතෙන් සමු ගන්නකම් රැක්කා..

පුතා අන්තිමට ගෙදර ආවේ 2017 සැප්තැම්බර් 17 වැනිදා. එයා මා එක්ක විඩියො එකක් කළා. මට දැනුණා එයා ඒක ගත්තෙ කාට හරි යවන්න කියලා. පස්සේ මම ඒක දැන ගත්තා. එයා ඒ විඩියෝව යවපු එයා විශ්වාස කරපු ඒ ආදරය අමානුෂික ලෙස එයා මා එක්ක කරපු වීඩියෝව තවත් කෙනෙකුට යවලා තිබුණා. එයාගෙ පළමු ආදරයත් එයා දෙවැනි වතාවට විශ්වාස කරපු ආදරයත් අතර එයා තනි වෙලා.

දවස් කිපයකට පස්සේ කොළඹ ගියා. කොළඹ යන්න කලින් මෙහෙ ඉන්න යාලුවෝ මුණ ගැහිලා තියෙනවා. මට කිරිබත් හදලා කවන්න කිව්වා. මම ඒදේත් කළා. ගෙදරින් එළියට බහින්නේ මාව ඉඹලා, මට දණගහලා වැදිලා.. ඒත් එයා අන්තිමට ගෙදරින් එළියට බහිද්දී මගේ මුහුණ දිහාවත් බැලුවේ නෑ.

කොළඹ ගිහිං කතා නොකළේ මොකද බලන්න මම එයාට කතා කළා. එතකොට පුතා කිව්වා හැමදේම ඉවරයි අම්මේ කියලා… සැප්තැම්බර් විසිපස්වෙනිදා මට එයාගේ පළමු ආදරය මට කතා කරලා කිව්වා “අන්න අරූ බෙල්ලෙ වැල දාගෙන මැරිලා” කියලා… එතැනින් එහාට වෙච්ච කිසිදෙයක් මට මතක නෑ….

ලෝකයට අවංක ආදරයක් දුන්න.. ලොකෙන් අවංක ආදරයක් හොයපු පුතා අපිව තනිකරලා ගියා. මට ජීවිතේ අත්හරින්න හිතුන වාර අනන්තයි.. අප්‍රමාණයි… ඒත් මගේ පොඩි පුතා වෙනුවෙන් වෛද්‍යවරුන්ට පින්සිද්ධ වෙන්න මම ජීවත් වෙනවා.

තනියම ඉන්න කොට මට හිතෙනවා මගේ පුතාගේ මරණයට එක්තරා විදිහකට මම වගකියන්න ඕනෙ ද කියලා.. මම එයාට පුංචිම කාලේ දුන්නු අවවාදය ගැහැනු ළමයෙකුට අනවශ්‍ය විහිළුවක් කරන්න එපා. රවටන්න එපා. අපහාස කරන්න එපා කියලා.. එයා ඒක පිළිපැද්දා. අන්තිමට එයා ලියපු ලියුමෙ ලියලා තිබුණා “මගේ මරණයට කවුරුත් වග කියන්න ඕනෙ නෑ” කියලා. ඒත් මං දන්නවා මගේ පුතා මැරුණේ.. ජීවිතය අත්හැරලා ගියේ එයා මේ ලෝකෙන් හොයපු ආදරෙයි එයා විශ්වාස කරපු ආදරේයි නිසා කියලා. ඒකට එයා ආදරේ කරපු අයගෙ හෘද සාක්ෂිය දන්නවා ඇති. එයාලා මොනවා කිව්වත් මොනවා කළත් කවදාහරි එයාලට එයාලාගේ හදවත කතා කරාවි.

කොහොමද තාමත් දසුන්ගෙ යාළුවො ඔබලා ගැන හොයා බලනවාද?
දසුන්ගේ සමහර යාළුවෝ කියපු කතා අද ඉටු කළා නම් මමයි,දසුන්ගේ මල්ලියි අද ලංකාවේ නෑ.. එයා වැඩකරපු ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයෙක් කියලා තිබුණා දසුන් නිසා එයාට පාඩු වුණා කියලා. තවත් කෙනෙක් රුපියල් පනස් දෙදහසක් ගෙනත් දුන්නා. සමහරක් මුල් දවස්වල කතා කළා. සමහරු මම කතා කළත් කතා කරන්නෙ නෑ දැන්. ජීවිතයේ හැටි එහෙම නේ. රටක් වටිනා පුතෙක් පොළවට යට කළාට පස්සේ… තවත් මොනවද දරා ගන්න බැරි.

දසුන්ගේ නිවසින් අප පිට වෙන්නට සුදානම් වෙද්දී ඔහුගේ අම්මා මෙහෙම කිව්වා.
මම මේ සමාජයේ තරුණ තරුණියන්ගෙන් එක් දෙයක් ඉල්ලන්න කැමතියි. ඒ “කවදාවත් තමන්ට ආදරය කරන කෙනාට බොරු කරන්න එපා.. රවටන්න එපා…” කියන එකයි…

සුගත් ශාන්ත මොරගහකුඹුර
ඡායාරූප – කමල් බෝගොඩ
නවලිය

Back to top button