දේශීය පුවත්

ශ්‍රී ලංකා පිතිකරුවන් පාඩම් ඉගෙන ගන්නේ කවදාද?

එංගලන්තය සමග පැවැති පන්දුවාර විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අන්ත පරාජයක් අත් විඳින්නට පසුගියදා සිදුවිය. එමෙන්ම තරගාවලිය පුරාවටම ශ්‍රී ලංකා පිතිකරුවන් අසාර්ථක වූ බව අතිශෝක්තියක් නොවේ.දසුන් ශානක පමණක් පළමු තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කරමින් හොඳින් තරගාවලිය ආරම්භ කළද ඔහුටද එය දිගින් දිගටම පවත්වාගෙන යෑමට හැකියාවක් නොලැබුණි.මෙරට තේරීම් කමිටුව මෙන්ම තාක්ෂණික කමිටුවද මහත් බලාපොරොත්තුවක් තබාගෙන සිටින කුසල් මෙන්ඩිස් පන්දුවාර විස්සයි20 තරගාවලිය පුරාවටම අසාර්ථක විය.

කුසල් මෙන්ඩිස් නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමට පෙර ඔහුට පළමු පෙළ තරගාවලි කිහිපයක් නිදහසේ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදිය යුතු බව අප නිරන්තරයෙන් සඳහන් කළඳ ඔහු ගැන අචල විශ්වාසයෙන් පසු වූ තේරීම් කමිටුව ඔහුට අවස්ථාව පිට අවස්ථාව ලබාදුන්නේය.

එපමණක් නොව ඔහු කණ්ඩායමේ උපනායකයාද කළේය. එයද ලකුණු අතර නොසිටි තරුණ ක්‍රීඩකයෙකුට සිදුකළ බලවත් අසාධාරණයක් බව අපගේ විශ්වාසයයි.කුසල් මෙන්ඩිස් පමණක් නොව පන්දුවාර විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම පිතිකරුවන් දැඩි ලෙස අසාර්ථක වූ බව විශේෂයෙන් සඳහන් කිරීමටද අවශ්‍ය නොවේ. එංගලන්ත තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා සංචිතයේ බහුතරයක් පළමුවරට එංගලන්තයේ තරග සංචාරයකට එක්වුවද මෙතරම් අසාර්ථකවීම විමතිය දනවන්නකි.පිතිකරුවන් කිසිවෙකුත් එරට තණතිලි නිසි ලෙස වටහාගත් සේයාවක් අපට දැකගන්නට නොලැබුණි. එමෙන්ම පිතිකරුවන් සියලු දෙනාම සිය ඉණිම සකසාගත යුත්තේ කෙසේද යන්න නිසි සැලැස්මක් ඇතිව පන්දුවට පහරදුන්නේද නැත.a

එංගලන්ත තණතිලිවල පන්දුව ඉපිලෙන බව දැන දැනත් පන්දු එන දිශාවට පහරවල් එල්ල කිරීමට උත්සාහ කරනවාට වඩා ශ්‍රී ලංකා පිතිකරුවන් උත්සාහ කළේ ඉතා අපහසුවෙන් හරහට පහරවල් එල්ල කිරීමටය. පිටියට පිවිසි විගසම එවැනි පහරවල් එල්ල කිරීමට වර්තමානයේ සියලු දෙනාම ඉතා ඉහළින් අගය කරන පිතිකරුවන් වන විරාට් කෝලී, ස්ටීව්. ස්මිත් සහ කේන් විලියන් වැනි පිතිකරුවද උත්සාහ කරන්නේ නැත. මෙරට පිතිකරුවන් ශර්ණ ප්‍රමාණයෙන්ද කුඩා බැවින් සිදුකළ යුතුව තිබුණේ නිසි ලෙස කල් බලා පන්දුව නිසි ලෙස ස්ථානගත කිරීමට උත්සාහ කරමින් එංගලන්ත පන්දු යවන්නන් පාලනය කරගැනීමය. ඉන් අනතුරුව හැකි ඉක්මනින් පිටියේ ස්ථාවර වූ පසු පන්දු යවන්නන් විසින් සිදුකරනු ලබන වෙනස්කම් කියවා ගනිමින් ඔවුන්ට පහරදී ලකුණු රැස් කිරීමය. එහෙත් අවසන් වූ තරග තුන තුළදීම එංගලන්ත පන්දු යවන්නන්ට ශ්‍රී ලංකා පිතිකරුවන් නිසි ලෙස කියවාගත් බවත් දැකගත නොහැකි විය. මෙරට තරුණ ක්‍රීඩකයන් නියත වශයෙන්ම ඉනිමක් ගොඩනගන අකාරයත්, පන්දු යවන්නන් පාලනය කරගැනීමට තමන්ගේ පිතිකරණ විලාසය අනුව සිදුකළ යුතු දේවලුත් හැකි ඉක්මනින් ඉගෙන ගත යුතුය. විශේෂයෙන් එංගලන්තය වැනි වැඩි ඉපිලීමක් සහිතව වේගයෙන් පන්දු යවන වේගපන්දු යවන්නන් හමුවේ එය. සිදුකළ යුත්තේ කෙස්ද යන්න වටහා ගැනීම වැදගත්ය. මෙම පන්දුවේ ඉපිලීම වැඩි නම් මෙරට පිතිකරුවන් සිදුකළ යුතුව තිබුණේ පන්දුව එන දිශාවට පන්දුව යොමු කිරීම සහ එය නිසි ලෙස ස්ථානගත කිරීමය.

එසේප්පු නොමැති නම් ස්ලිප් පන්දුවට රකින්නන්ට ඉහළින් පන්දුව යොමුකොට පන්දුවාරය ආරම්භයේදීම පන්දු යවන්නා පීඩනයට හසුකර ගැනීමය. එසේ නොමැති නම් නිසි ලෙස පන්දුව ස්ථානගත කොට ලකුණු 2ක් හෝ 3ක් රැස් කිරීමට උත්සාහ කිරීය. එහෙත් සිදුවූයේ මෙරට පිතිකරුවන් පිටියට පැමිණි විගසම හරහට පහරවල් ගැසීමට උත්සාහ කරමින් ඔවුන් විසින්ම පීඩනයක් ඇතිකර ගැනීමය.පන්දුව එන දිශාවට පන්දුව යොමු කරමින් කෙටි ලකුණක් මෙන්ම ලකුණු 2ක් 3ක් පන්දුවාරය ආරම්භයේ දී රැස් කළේ නම් එංගලන්ත පන්දු යවන්නන්ට නියත වශයෙන්ම ඔවුන්ගේ පන්දුව පතිත කිරීමේ ස්ථානයන් වෙනස් කරන්නට සිදුවේ. එම අවස්ථාවේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට තමන්ගේ පහරවල් හෝ ස්විප් පහරක්, වස්සුවිපහරක්, පැල් පහරක් එක්වී නොමැති නම් ඩිස්කූප් පහරක් හෝ එල්ල කිරීමට අවස්ථාව සලසා ගන්නට තිබුණි. එහෙත් සිදුවූයේ ශ්‍රී ලංකා පිතිකරුවන් පීඩනයට හසුවීම නිසා එංගලන්ත පන්දු යවන්නන් නිරන්තරයෙන් කෙටි පන්දු ලබාදීමය.කෙසේ වෙතත් අවසන් වූ පන්දුවාර විස්සයි20 තරගාවලිය පුරාවටම මෙරට පන්දු යවන්නන් සියඋපරීමය කණ්ඩායමට ලබාදුන්නේය.විශේෂයෙන්ම දුෂ්මන්ත චමීර ආරම්භක වේග පන්දු යවන්නා ලෙසින් ඉදිරිපත් කළ දක්ෂතා පැසසිය යුතුය. ඔහුට අමතරව බිනුර ප්‍රනාන්දු සහ වනිඳු හසරංග ද පන්දු යවන්නන්ලෙස සාර්ථක විය. එහෙත් ශ්‍රී ලංකා පිතිකරුවන් තරගයක් ලබාදිය හැකි ලකුණු සංඛ්‍යාවක් රැස් නොකිරීම නිසා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කරන්නට දෙයක් නොතිබුණි.

(දිනේෂ් මන්ත්‍රීවිතාන)

Back to top button