මේක මාරාන්තික ලෙඩක් කොවිඩ් වැළඳී සුවවුණ වසන්ත රෝහණ

පසුගියදා ප්‍රවීණ නිවේදක වසන්ත රෝහණ මහතා කොරෝනා රෝගයෙන් ආසාදනයවී අයිඩීඑච් රෝහලේද ප්‍රතිකාර ලැබීය. ඔහුගේ බිරිය හා දරුවාටද මෙම රෝගය වැළඳිණි. මේ වනවිට සුවය ලබා ඇති ඔහු තමන්ට සිදුවූ කරදරය ගැන ලබාදී ඇති සම්මුඛ සාකච්ඡාවක් පහත පරිදිය.

කොහෙන්ද හැදුනෙ පිළියන්දල පොකුරෙන් ද?” “වෙන්නත් පුළුවන්. නමුත් මම දන්නෙ නැහැ කොහොම කොහෙන් කොවිඩ් ආවා ද කියලා. කොහොම වුණත් පහුගිය 15 වැනිදා උදේ මට උණ වගේ ආවා. කැස්සකුත් හැදුණා. එදා මමයි නෝනායි දරුවයි කාර් එකට නැගලා ගියේ මහගෙදර අම්මා බලන්න යන්න. ඒත් මට කැස්ස හැදුණාමත් ඇඟට උණ වගේ ආවාමත්
නෝනා කිව්වා සැක සහිතයි. අපි ගිහින් පී.සී.ආර්. එකක් කරගමු කියලා. පස්සෙ අපේ ගෙවල් කිට්ටුවම තියෙන කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහලට ගිහින් පී.සී.ආර්. එකක් කරගත්තා.
ප්‍රතිඵල එන්නෙ පහුවෙනිදා නිසා අමමා බලන්න ගම්පහ ගෙදර ගියත් මම අම්මා එක්ක කතා කළේ දුරින් ඉඳලා. එදා රෑ නතර වුණෙත් උඩ තට්ටුවෙ කාමරේක.
පහුවෙනිදා බොහොම පරෙස්සමට ගෙදර ආවා. ටිකකින් මගේ අසල්වැසි මිත්‍රයා ගායක අමරසිරි පීරිස් අයියා මට කතා කරලා ඇහුවා බදුරලිය පැත්තෙ යමු ද කියලා. අපි දෙන්නා විවේකයක් ගන්න හිතුනාම බදුරලියට යනවා. එහෙ මිත්‍ර සමූහයකුත් ඉන්නවා. එත් මම අමරසිරි අයියට කිව්වා අද නම් ඇගට හරි නෑ, මම පී.සී. ආර්. එකකුත් කරගත්තා කියලා.  කොහොම හරි ඒ ගමනත් නොගිහින් හිටියා. එදා හවස පී.සී. ආර්. රිපෝර්ට් එක ආවා පොසිටිව් කියලා.”
“මට තරු පෙනුණා. මම 14 වැනිදා වෙළෙඳ සේවයේ අවුරුදු විකාශයෙත් වැඩ කළා. හැබැයි උදේ 9ට මම බීම් එකෙන් එළියට ආවේ ඉරුෂා වීබැද්දට බීම් එක බාරදීලා. හොඳ වෙලාවට මම ඉරුෂා එක්ක වැඩිදුර කතාබහ කළේ නැහැ. ඊට පස්සෙ අවුරුදු කෑම මේසයට ගියා.
හොද වෙලාවට ඒ වෙද්දි කෑම මේසෙ කවුරුවත් හිටියෙ නැහැ. ඒ නිසා මගෙන් ගුවන්විදුලිය කාටවත් ආසාදනය වුණේ නෑ. කොටින්ම කියනවා නම් වසන්ත පොකුරක් හැදුණේ නැහැ. මට පොසිටිව් වුණාට පස්සෙ මාව යැවෙ අයි.ඩී.එච්. රෝහලට.”

පොසිටිව් කිව්වාම ඇගේ අමාරුව වැඩිවෙන්න ඇති? “අසරණ වෙනවානෙ. නෝනය දුවයි ගෙදර තනි කරලානෙ යන්න වෙන්නේ. එතකොට හිතට දුකයි. මගෙ සමීප ආශ්‍රිතයො නිසා එයාලටත් ලෙඩේ හැදෙයි ද කියන බයත් හිතට ආවා. ඒ එක්කම හුස්ම ගැනීමේ අපහසුව ආවා.”

කොහොම ද රෝහලේ වැඩ කටයුතු? “බොහොම අපූරුයි. කොවිඩ් කියන වසංගතයක්නෙ. පිහිටක් ඉල්ලන්න කෙනෙක් නෑ. කෙනෙකුට පිහිටට එන්නත් බෑ. මේ ලෙඩේට පිහිටක් වෙන්න
පුළුවන් සෞඛ්‍ය අංශයේ අයට විතරමයි. උදේ 5ට විතර නර්ස් කෙනෙක් එනවා. වාට්ටුව වටේම යනවා. ලෙඩ්ඩුන්ගෙ උණ බලනවා, ලේ බලනවා, ප්‍රෙෂර් බලනවා. ඊට පස්සේ උදේ දහයට විතර දොස්තර මහත්තයෙක් එනවා. උදේ එකොළහට විතර කන්සල්ටන්ට් කෙනෙක් එනවා. එයාලා හැම ලෙඩෙක්ම හොඳට බලනවා. ඔය අතරෙ කොත්තමල්ලි, කෑම බීම, උණුවතුර වගේ දේවල් ළගටම ගෙනත් දෙනවා. මට පුදුම හිතුනා මේ රජයේ රෝහලක් ද කියලත්. ඒ තරමට කාර්යක්‍ෂමයි.”

නෝනයි, දරුවයි නෙගටිව් ද?’  “මම ඉස්පිරිතාලෙට ගිය දවසෙම ඒ දෙන්නත් පී.සී.ආර්. කරගෙන. රිසාල්ට එක නෙගටිව. ඒ නිසා මම හිටියෙ හිතේ සැහැල්ලුවෙන්. ඒත් දහඅට වැනිදා වෙනකොට ඒ දෙන්නත් පොසිටිව් වෙලා. නෝනා මට කෝල් කරලා කිව්වා එයාලත් පොසිටිව් කියලා. ඒ වෙලාවෙ තරම් මං අසරණ වුණු වෙලාවක් නෑ. මං ගෙදර හිටිය නම්
ඒ දෙන්නව බලාගන්නවනේ. ඒත් දැන් මම මොකද කරන්නෙ . මමත් ලෙඩෙක්. ඒ දෙනත් ලෙඩ්ඩු. හිතට සහනයකට තිබුණෙ මගේ නෝනා වෛද්‍යවරියක් වීම විතරයි. එයා වැඩ කරන්නෙ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ රෝහලේ, ඒ නිසා ඒ රෝහලෙන් මේ දෙන්නට අවශ්‍ය ප්‍රතිකාර කරයි කියලා හිතලා මම හිත හදාගත්තා. පස්සෙ ඒ දෙන්නත් අයි.ඩී.එච්. එකට එවලා.”

‘වසන්ත පොකුර තුන්දෙනාගෙන් නැවැතුණා ද?” “ඔව්! මොකක්දෝ වාසනාවකට අම්මලට කරදරයක් වෙලා නැහැ. ගම්පහ ගෙදර කාටවත්ම පොසිටිව් වෙලත් නැහැ. ගුවන්විදුලිය කාටවත් මගෙන් බෝවෙලත් නැහැ.”

කොවිඩි කියන කැස්සක් විතරයි. කියලා කිව්වනෙ. මොකද හිතන්නේ.  “හොඳ කැස්ස….මේක මාරාන්තික ලෙඩක්. හුස්ම හිර වුණොත් ඔක්සිජන් ගන්න වෙනවා. ජේන් නැද්ද ඉන්දියාවේ ඔක්සිජන් නැතුව මැරෙන හැටි.”

ලංකාව නම් තාම එහෙම ප්‍රශ්නයක් නැහැ නේද? “අපෝයි ඔව්. එහෙම වෙන්නත් එපා. අපේ සෞඛ්‍ය අංශ වැඩ කරන්නෙ බොහොම කැපවීමෙන්. එයාලා ලෙඩ්ඩු සනීප කරන්නම කැපවුණු පිරිසක්. ඔවුන්ට පින් සිදුවෙන්න අපේ රට තාම ගොඩ.
යුද්දෙ වෙලාවෙ රණ විරුවා රට බේරාගත්තා වගේම තමයි මේ වෙලාවෙ සුව විරුවා. එයාලගෙ කැපවීම
නොවුණා නම් මෙලහට අපේ රටෙත් මහ ගොඩාක් මිය ගිහින්. හඳට යන්න අදිනව වගේ ඇඳුමකුත් ඇඳගෙන ඒගොල්ලො මොන දුකක් ද විඳින්නේ .”

දවස් කීයක් අයි.ඩී.එච්. රෝහලේ  හිටියා ද? ඇගේ ප්‍රතිදේහ හැදෙනකම් හිටියා. දවස් දාහතරක් මං හිටියා. සාමාන්‍යයෙන් දවස් දහයෙන් විතර ඇන්ටිබොඩි පරීක්‍ෂාව කරනවා, ඇගේ ප්‍රතිදේහ බලන්න.”

දැන් එතකොට? “තාම ගෙදර. තව දවස් දාහතරක් ගෙදර නිරෝධායනය වෙලාම, ගුවන්විදුලියට යනවා.”

සාකච්ඡාව – ශාන්ත කුමාර විතාන

Exit mobile version