ගොසිප් පුවත්

VIP අමුත්තාගේ ගමන් මල්ල පරික්ෂා කළ පොලිස් නිලධාරීන් තිදෙනෙක්ට ස්ථාන මාරු

ප්‍රභූවරයකුගේ පෞද්ගලික ගමන් මල්ල පරීක්ෂා කරමින් ඔහුගේ කටයුතුවලට බාධා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක ඇතුළු තිදෙනකු එම පොලිසියෙන් මාරු කර යවා ඇතැයි වාර්තා වෙයි.

මාරු කෙරුණු අනෙක් දෙදෙනා උප පොලිස් පරීක්ෂකවරියක හා පොලිස් කොස්තාපල්වරයෙකි.

AV Rase

ඉහත සඳහන් කළ ප්‍රභූවරයා පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ සිටියදී ඔහුගේ ආරක්ෂක නිලධාරියකු ප්‍රභූවරයාගේ පෞද්ගලික දෑ අඩංගු ගමන් බෑගය රැගෙන පාර්ලිමේන්තු නිලධාරි පිවිසුමෙන් ඇතුළුවීමට සූදානම් වූ අවස්ථාවේදී මෙම පොලිස් නිලධාරිනියන් දෙදෙනා හා පොලිස් කොස්තාපල්වරයා ඒ ආරක්ෂක නිලධාරියා මද වේලාවක් රඳවාගෙන එම ගමන් මල්ල පරීක්ෂා කරමින් ප්‍රභූවරයාගේ කටයුතුවලට බාධා වන ආකාරයට හැසිරී ඇතැයි සඳහන් වෙයි.

සාමාන්‍යයෙන් විශේෂිත ප්‍රභූවරයකුගේ පෞද්ගලික ගමන් බෑගය සම්බන්ධයෙන් කිසියම් වූ අවබෝධයකින් කටයුතු කිරීම සාමාන්‍ය ක්‍රමවේදය වුවත් මේ සිද්ධියේදී එම තිදෙනා අනවබෝධයෙන් කටයුතු කර ඇති ආකාරයක් පෙනෙන්නට තිබෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

දැනගන්නට ඇති අන්දමට මේ ස්ථාන මාරුවීම් කරනු ලැබ ඇත්තේ වැඩබලන පොලිස්පතිවරයා විසිනි.

මේ අතර පාර්ලිමේන්තු පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.එල්. ලියනගේ මහතා ද පොලිස් මූලස්ථානයට මාරු කරනු ලැබ සිටියි.

කෙසේ වෙතත් ඔහුගේ එම ස්ථාන මාරුවීම ඉහත සිද්ධියට පෙර සාමාන්‍ය ක්‍රමවේදය අනුව සිදු වූ එකක් බව පාර්ලිමේන්තු පොලිසිය පවසයි.

ලියනගේ මහතා මාරු කර යැවීමෙන් හිස් වූ පාර්ලිමේන්තු පොලිසියේ ස්ථානාධිපති තනතුරට ප්‍රධාන පොලිස් පරීක්ෂක වී.පී.ඊ. ප්‍රනාන්දු මහතා පත් කරනු ලැබ සිටී.

ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රනාන්දු මහතා ගමන් මලු පරීක්ෂා සිද්ධිය සම්බන්ධයෙන් ස්ථාන මාරුවීම් ලැබූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියගේ ස්වාමි පුරුෂයා වීම මෙහි ඇති විශේෂත්වයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button