කොරෝනා අස්සේ බඩු මිල සීඝ්‍රයෙන් ඉහළ ගිහින් – විජිත හේරත්

කොරෝනා වසංගතය මේ වන විට ලංකාවේ සෑම ප්‍රදේශයකටම පැතිර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එබැවින් කොරෝනා මර්දනය සඳහා විද්‍යාත්මක පදනමක් මත ක්‍රියාකාරී සැලැස්මක් වහාම ක්‍රියාත්ක කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

“අද තියෙන්නේ කොරෝනා පොකුරු නෙවෙයි. පොකුරු කියන එකම වැරදියි. ලංකාවේ අස්සක් මුල්ලක් නෑර කොරෝනා රෝගීන් පැතිරිලා ඉන්නේ. සමාජගත වෙලා නැහැ කියන එකම වැරදියි. ඒ නිසා ඇත්තටම වෙන්න ඕනෑ, ආණ්ඩුව කියන කොරොනා සමග ජීවත්වීම කියන එක නෙවෙයි. අපි යන්න ඕනෑ කොරෝනා තුරන් කර ජීවත් වීමටයි. ආණ්ඩුවේ මැදිහත්වීම අවශ්‍ය වෙන්නේ ඒ වෙනුවෙන්. නමුත් ආණ්ඩුව කරන්නේ තැන් තැන්වල පැලැස්තර දාන එක. කොරොනා ආරම්භ වුණු චීනය කොරෝනා මැඩ පවත්වන්න ගත් ක්‍රියාමාර්ග සාර්ථක වෙලා තියෙනවා. අපේ රටත් විද්‍යාත්මක පදනමක් මත ක්‍රියාකාරී සැලැස්මක් වහාම ක්‍රියාත්ක කළ යුතුයි. ආණ්ඩුවට තියෙන පැලැස්තර ඇලවීමේ ක්‍රියාමාර්ග මේ වසංගතයට අදාළ වෙන්නේ නැහැ.”

“ජනතාවට ජීවත් වෙන්න බැරි තරම් වේගයෙන් බඩු මිල ඉහළ යනවා. කොරෝනා තත්ත්වය නිසා අර්බුදය තවත් උග්‍ර වෙලා,” යනුවෙන් ද විජිත හේරත් මහතා පැවසීය.

Exit mobile version