දේශීය පුවත්

හදිසියේ බිම ඇද වැටී මියයාම් දෙකක් ගම්පොළ තැන් දෙකකදී

ගම්පොළ ප්‍රදේශයේ ස්ථාන දෙකක දී පුද්ගලයන් දෙදෙනකු හදිසියේ බිම ඇද වැටී මියගොස් ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි. මින් එක් අයකු ගම්පොළ නගරයේ නුවර පාර කෝවිල අසලත්,

අනෙක් පුද්ගලයාට ගම්පොළ රිවසයිඩ් ප්‍රදේශයේදීත් මෙසේ බිම ඇද වැටී මිය ගොස් ඇත. ගම්පොළ නගරයේ මියගිය අය පෙරේදා (17) උදෑසන ත්‍රිරෝද රථයකින් නගරයට පැමිණ ඇති අතර, ත්‍රිරෝද රථය කෝවිල අසල නවතා වෙළෙඳසලකට යමින් සිටිය දී පදික වේදිකාවේ ඇද වැටී ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

යුද හමුදාවේ සේවය කර ඇති ඔහුගේ පාදයක් ද අහිමි වී ඇති අතර ඔහු උනම්බුව ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇත. වගාවට අවශ්‍ය පොහොර ගෙන යාම සඳහා ඔහු මෙසේ නගරයට පැමිණ ඇති බව ද හෙළි වී ඇත. ගම්පොළ දොරගල ප්‍රදේශයේ පදිංචි අනෙක් පුද්ගලයා සිය පුතු සමඟ රජයේ ඖෂධ ශාලාව වෙත පැමිණ සිටිය දී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. පී.සී.ආර්. පරික්ෂණ සිදු කිරීමට නියමිත අතර, පරික්ෂණවලින් පසු මරණයට හේතු පැවසීය හැකි බව පොලිසිය සඳහන් කරයි.

සුරංග රාජනායක

Back to top button