ශ්‍රී ලංකාවේ නවක ක්‍රීඩකයින් තිදෙනෙක් IPL අවසන් ක්‍රීඩක වෙන්දේසියට

2021 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරෙන අවසන් ක්‍රීඩක ලැයිස්තුව ඊයේ (11) නිවේදනයකර තිබුණි.

ඊට ඇතුළත්ව ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 9කි.

පෙබරවාරි 18 වැනිදා පැවැත්වීමට සූදානම්කර ඇති ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයන් 1097 දෙනෙක් ලියාපදිංචි වී සිටි අතර ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 31දෙනෙක් ඇතුළත් විය.

තරගාවලියට සහභාගී වන කණ්ඩායම්වල හිමිකරුවන් වෙත එම ලැයිස්තුව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ මූලික තෝරාගැනීම් වලට අනුව ක්‍රීඩකයින් 292 දෙනෙක් අවසන් ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කිරීමට තීරණය වී තිබේ.

එම ක්‍රීඩකයින් 292 අතරට ඇතුළත්ව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 9 දෙනෙක් පමණි.

ඒ අනුව, තිසර පෙරේරා, කුසල් පෙරේරා, ඉසුරු උදාන, දසුන් ශානක, දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග යන ක්‍රීඩකයන් වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මූලික වෙන්දේසි මුදලක් නියම කර තිබේ.

ඊට අමතරව කෙවින් කොත්තිගොඩ, මහීෂ් තීක්ෂණ සහ විජයකාන්ත් වියස්කාන්ත් යන ක්‍රීඩකයන්ට නියම කර ඇති මූලික වෙන්දේසි මුදල ඉන්දීය රුපියල් ලක්ෂ 20කි.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර නොමැති එම ක්‍රීඩකයන් තිදෙනා ලංකා ප්‍රීමියර් ලීග් සහ අබුඩාබි ටී 10 යන තරගාවලිවලදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔවුන්ව IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා තෝරාගෙන ඇති බව වාර්තා වේ.

Exit mobile version