දේශීය පුවත්

තුන්වන රැල්ලේ බලපෑම May 13 – Updates කළුතර කොළොන්නාව පාදුක්ක ගම්පහ බදුල්ල බදුල්ල මීගමුව කෑගල්ල

මේ වනවිට රටපුරා ප්‍රදේශ ගණනාවකින්  කොරෝනා තවත් රෝගීන් රැසක් හමුව තිබෙන බව සෞඛ්‍ය අංශ කියයි.

කොළොන්නාව

කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළින් පෙරේදා (11 වැනිදා) කොවිඩ් ආසාදිතයන් 41 දෙනකු වාර්තා වී ඇත. ඒ කොළොන්නාව සෞඛ්‍ය​සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 6 දෙනෙක් හා ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 35ක් වශයෙනි.
කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළින් පෙරේදා (11 වැනිදා) කොවිඩ් ආසාදිතයන් 41 දෙනකු වාර්තා වී ඇත. ඒ කොළොන්නාව සෞඛ්‍ය​ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 6 දෙනෙක් හා ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 35ක් වශයෙනි.

පාදුක්ක

පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් මේ වනවිට සමස්ත ආසාදිතයන් 530ක් වාර්තා වී ඇතැයි පාදුක්ක සෞඛ්‍ය වෙද්‍ය නිලධාරි වෛද්‍ය දුමිත්‍ර කහන්ගමගේ මහතා පැවැසීය. එන්නත්කරණ වැඩපිළිවෙළ ඉකුත් 10 වැනිදා ආරම්භ වීමත් සමග මේ වනවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී 243 දෙනකුට ද ලියන්වල විහාරස්ථානයේදී 711 දෙනකුට ද මොරගහතැන්න ශ්‍රී මහා විහාරස්ථානයේදී 1,000කට ආසන්න පිරිසකට ද එන්නත් ලබාදුන් බව වෛද්‍ය දුමිත්‍ර කහග්ගමගේ මහතා පැවසීය.

කළුතර
පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු කෝවිඩ් ආසාදිතයෙකු බවට හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.මොහු අගලවත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර. ඔහුගේ නිවසේ සාමාජිකයන් මේ වනවිට නිරෝධායනයට ලක්කර තිබේ.

හපුතලේ

හපුතලේ කහගොල්ල ප්‍රදේශයේ නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටි කාන්තාවක ඊයේ (12 වැනිදා) ජීවිතක්ෂයට පත් වී ඇති බව හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් සුදර්ශන් මහතා පැවසීය.
මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ කහගොල්ල පදිංචි 32 හැවිරිදි කාන්තාවක් බවද ඇය කොරෝනා ආසාදිතයකුගේ ඍජු ආශ්‍රිතයකු වූ බැවින් නිවසේ ස්වයං නිරෝධායනයට ලක් කර සිටි බවද කියයි.
හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති බව පවසා සුළු වේලාවකින්, මෙම කාන්තාව ජීවිතක්ෂයට පත් වී ඇති බව අනාවරණය වී තිබේ. මේ සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමට කටයුතු යොදා ඇති බවත් නිරෝධායන නීති රීතිවලට අනුව අවසන් කටයුතු සිදුකිරීමට නියමිත බවත් හපුතලේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. සුදර්ශන් මහතා පැවසීය.

ගම්පහ

කෝවිඩ් ආසාදිතයන් 644 දෙනකු වන වැඩිම සංඛ්‍යාවක් ඊයේ (12දා) උදෑසන වනවිට ගත වූ පැය 24ක කාලයක් තුළ හමුව ඇති බවත්, මෙය ඉතා අහිතකර තත්වයක් බැවින් ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සදභන් කළේය.ගතවූ එම කාලය තුළ 90 දෙනෙකු වන ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොටිඨාසයෙන් වාර්තා වූ බව සදහන් කළ අධ්‍යක්ෂවරයා, ගම්පහ දිස්ත්‍රික්කයෙහි, 15ක් වන සියලුම සොඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් ආසාදිතයන් හමුව ඇති බවද පැවසීය. දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයන් හමුවීම දිවුලපිටිය කොටිඨාසයෙන් 81ක්, මිනුවන්ගොඩින් 62ක්,මහරින් 61ක්, දොම්පෙන් 50ක්, අත්තනගලන් 41ක්, ජා ඇළ – 36ක්, කැලණියෙන් 35ක්, කටානින් – 32ක් , ග හින් 29ක්, මීරිගමින් 27ක් , මීගමුවෙන් 25ක්, වත්තල සහ බියගම කොටිඨාසයන්ගෙන් 22දෙනෙකු බැගින් සහ රාගම කොටිඨාසයෙන් 20දෙනකු බැගින් වාර්තා වූ බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකවරයා පවසා සිටියේය.ගතවූ පැය 24 තුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් ක්ෂේත්‍රයේ සිදුකළ පී.සී.ආර් පරික්ෂාවක්හිදී ආසාදිතයන් 526දෙදෙනෙකු සහ රෝහල්වලදී සිදුකළ පරික්ෂාවන්හිදී 128දෙනෙකු වශයෙන් හමුව ඇති බව අධ්‍යක්ෂවරයා සදහන් කළේය.නිදහස් ආයෝජන කලාපයෙහි කටුනායක කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයන් 80දෙනෙකු ඇතුළුව කර්මාන්තශාලාවලින් ගතවූ පැය 24 තුළ ආසාදිතයන් 83දෙනෙකුද හමුව ඇති බවත් ඊයේ උදැසන වනවිට දිස්ත්‍රික්කයේ පවතින ප්‍රතිකාර මධ්‍යස්ථාන හයෙහි පවතින ඇදන් 511 න් ඇදන් 397ක් පිරී ඇති බවත් හෙතෙම සඳහන් කළ අතර ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් 15,657දෙනෙකු නිවෙස්වල සේවයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවද පැවසීය.පවතින අයහපත් තත්වය මත ජනතාව සංචරණය උපරීමව සීමා කරමින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් දැඩිව අනුගමනය කළ යුතුව ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.

ගම්පහ දිස්ත්‍රික්කයෙහි සොඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15. ආවරණය වන පරිදි පුද්ගලයන් 253,249දෙනෙකු ඊයේ උදෑසන වනවිට පී.සි.ආර්.පරික්ෂණයට භාජනය කොට ඇති අතර ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් වැසියන් සහ රාජ්‍ය සේවකයන් ඇතුළු 22,299දෙනෙකුට ‘සයිනොෆාම්’ එන්නත ලබාදීම සිදු කොට ඇත. මෙම එන්නත ලබා දීම අඛණ්ඩව සිදු කෙරෙමින් පවතී.

යාපනය නයිනතිව්
යාපනය නයිනතිව් නාගපූසනී අම්මාන් හින්දු කෝවිලේ දේව මෙහෙයන්ට බැතිමතුන්ට සහභාගීවීමට ඉදිරි දිනයන්හි අවසර නොලැබෙන බවට එම කෝවිලේ භාරකාර මණ්ඩලය පවසා සිටියි.පසුගියදා නාගපූසනී අම්මාන් කෝවිලේ දේව මෙහෙයන්ට සහභාගි වූ බැතිමතුන් කිහිපදෙනකු කෝවිඩ් වෛරසය ආසාදනය වූවන් ලෙසින් හදුනා ගැනීමෙන් අනතුරුව කෝවිල් භාරකාර මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත. මේ අනුව පවතින කෝවිඩ් අවදානම් තත්වය පහව යන තෙක් කෝවිලේ දේව මෙහෙයන් සඳහා පූජකවරුන් ඇතුළු භාරකාර මණ්ඩලය පමණක් සහභාගි වන අතර බැතිමතුන්ට අවසර ලබා දෙන දිනයක් ඉදිරියේදී දැනුම් දෙන බවටද නාගපූසනී අම්මාන් කෝවිලේ භාරකාර මණ්ඩලය වැඩිදුරටත් පැවසීය.

ඇල්ල

කෝවිඩ් 19 ආසාදිත වීමෙන් බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පස්සර පොලීසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරික්ෂකවරයෙකු ඊයේ (12දා) අලුයම මියගිය බව බදුල්ල පොලිසිය පවසයි. පස්සර මාවුස්සාගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පස්සර පොලීසියට අනුයුක්තව සේවය කළ උපපොලිස් පරික්ෂක ඩබ්ලිව්.ඇම් සිරිපාල (57) නමැත්තා මෙසේ මියගොස් ඇතැයි පොලීසිය කීය. මොහු අසනිප වී පස්සර රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට පසුගිය 3 වැනිදා ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බවද පොලීසිය සඳහන් කළේය. මොහුගේ ආදාහන කටයුතු බදුල්ල ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතව තිබිණි.

ඌරුබොක්ක

ඌරුබොක්ක ප්‍රදේශයේ වෙළෙඳ සැල් අද (13) සිට සතියක පමණ කාලයක් වසා දැමීමට ඌරුබොක්ක ව්‍යාපාරික සංසදය තීරණය කර ඇත.ඌරුබොක්ක, කිරිපිටිය, හිගොඩ, බෙරලපනාතර ඇතුළු ප්‍රදේශවල කෝවිඩ් ආසාදියන් හමුවීමත් සමගම වෛරසය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බැවින් මෙම පියවර ගෙන තිබේ.ඒ අනුව උරුබොක්ක, හීගොඩ, හොරගස්වමඩිය ,ගිත්තනිය පාර යන ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා සපයන වෙළද සැල් සහ ආයතන හැර අනිකුත් සියලු ආයතන වසා තැබීමට නියමිත බව ඌරුබොක්ක ව්‍යාපාරික සංසදයේ සභාපති ජයන්ත ගුණවර්ධන මහතා පැවැසීය.මීට සමගාමීව දෙනියාය සහ මොරවක ප්‍රදේශවල වෙළද සැල් ද සතියක පමණ කාලයක් වසා දැමීමට එම ප්‍රදේශවල වෙළෙඳ සංගම් තීරණය කර ඇත. කෝවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමට සෞඛ්‍ය අංශ ගන්නා වූ වැඩපිළිව‍ළට සහයෝගය දැක්වීමක් වශයෙන් මෙලෙස සතියක පමණ කාලයක් වෙළෙද සැල් වසා දැමීමට පියවර ගෙන ඇත.

බදුල්ල

බදුල්ල දිස්ත්‍රික්කයේ පී.සී.ආර්. වාර්තා ලැබීම ප්‍රමාදවීම හේතුවෙන් බරපතළ ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි බදුල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහජන සෞඛ්‍ය පරික්ෂක අසංක සම්පත් මහතා පැවසීය.ඊයේ (12දා) මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් හෙතෙම මේ බව පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “ඉකුත් අප්‍රේල් 24, 25 දිනවල නිරෝධායනයට යොමු කර මැයි3 සහ 4 දිනවල පී.සී.ආර්. පරික්ෂණ කළ වාර්තා දින හතක් පමණ ගතවීමෙන් පසු මේ වනවීට ලැබී තිබෙනවා. ඒ අයගෙන් විශාල ප්‍රතිශතයක් කෝවිඩ් ආසාදිත වී තිබෙනවා. ඉකුත් 4දින ඇල්ලේ සහ හපුතලේ කළ පී.සී. ආර්. පරික්ෂණවලින් එකසිය නවදෙනකු ආසාදිතයන් බවට

තහවුරු කරගෙන තිබෙනවා. ඉකුත් අප්‍රේල් 25 සහ ඊට ආසන්න දිනවල ආශ්‍රිතයන් මුණගැසුණු අය නීරෝධායනය. කර මෙම වාර්තා ලබාගෙන තිබෙන්නේ. දින දාහතරක නිරෝධායන කාලසීමාවත් රසායනාගාර වාර්තා එන විටදින 18ක් පමණ වෙලා. මෙහෙම බලන විට නොදන්නා විදිහට කෝවිඩි වෛරසය සමාජගත වෙනවා. මේ නිසා රසායනාගාර වාර්තා ලබා ගැනීම ඉක්මත් කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. යැයිද පවසා සිටියේය.

ගම්පොළ
රාමසාන් සමය වුවද පැතිර යන කෝවිඩ් වසංගතය සමග පල්ලියක් තුළ පුද්ගලයෙකු පමණක් පැමිණීමට නියම කර තිබියදී ගම්පොළ නගරයේ පල්ලියක 34 දෙනෙකු පල්ලියේ මෙහෙයටම සහභාගීවී සිටියදී උඩපළාත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එම්.එෆ්.එම්. ෆාහිම් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් ගොස් එම 34 දෙනා ඇතුළු ඔවුන්ගේ සියලු පවුල්වල සාමාජිකයන් දින 14 පෙරේදා (11) නිරෝධායනයට ලක්කර තිබේ. මෙම පල්ලියේ සභාපතිරවයාද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බවද ගම්පොළ පොලීසිය පවසයි.මෙම පල්ලිය තුළ සෞඛ්‍ය නිදේශයන් කිහිපයක්ද ක්‍රියාත්මක නොකර ඇති අතර, පැමිනි අය සදහන් කරන පොත නොලියා මෙසේ වැදීම් සිදුකරන බව හෙළිවූ බවද සොඛ්‍යය වෛද්‍යවරයා පැවසීය.රාමසාන් සමය තුළ මුස්ලිම් භක්තිකයා දිනකට පස් වතාවක් ආගමික කටයුතුවල සිටිය යුතු වුවද පැතිර යන කෝවිඩ් වෛරසයේ භායනක බව සලකා මිනිසුන්ගේ ජිවිත බේරාගැනීමේ අරමුණින් මෙම පල්ලියද දින 14ක් පුරා වසා දැමීමට කටයුතු කළ බවද ෆාහිම් මහතා සදහන් කළේය. පෙරේදා (11දා) රාත්‍රියේදී මෙම පිරිස මෙසේ පල්ලියේ වදිමින් සිටියදී සෞඛ්‍ය අංශ හා පොලීසිය පල්ලි ආශ්‍රිතව සිදුකළ සෝදිසියකදී මොවුන් මෙසේ හමුවී ඇත.

දොම්පේ

දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය සඳහා චීනයෙන් ගෙන්වන ලද ‘සයිනොෆාම්’ එන්නත් 3,000ක් ලබා දී ඇති බව දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය කුමාරි විජේසූරිය මහත්මිය පැවැසුවේ මේ වනවිට එම එන්නත් කිරීම කිරිඳිවැල, පූගොඩ කොට්ඨාසවල සිදුකරමින් පවතින බවය. දොම්පේ කොට්ඨාසයෙන් ඉකුත් දිනයේදී වාර්තා වී ඇති කොරෝනා රෝගීන් පිරිස 9 දෙනකු වන බව පැවැසූ වෛද්‍ය කුමාරි විජේසූරිය මහත්මිය ඒ අනුව කොට්ඨාසයේ රෝගීන් වාර්තා වීම අඩු වී ඇති බව ද කීවාය.

අත්තනගල්ල

අත්තනගල්ල කොට්ඨාසයේ කොවිඩ් 19 වයිරසය ආසාදිත පිරිස එක්දහස් පන්සියයක් දක්වා වර්ධනය වී ඇතැයි අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. ආසාදිතයන් අඩු ප්‍රමාණයක් වාර්තතා වී තිබූ වීරඟුල මහජන සෞඛ්‍ය පරික්ෂක කලාපයෙන් මේ වනවිට රෝගීන් වාර්තා වීම වැඩි වී ඇතැයි ද එම කාර්යාලය පැවැසීය. වීරඟුල කලාපයට අයත් වීරඟුල ගම්මානයේ පෙරේදා (11) වනවිට ආසාදිතයන් 13ක්, මංගලතිරිය ගම්මානයෙන් ආසාදිතයන් 5ක් හා කොස්කඳවල ගම්මානයෙන් ආසාදිතයන් 2ක් වාර්ත වී ඇති බව වීරඟුල කලාපය භාර මහජන සෞඛ්‍ය පරික්ෂක ඇම්.ඩී.ඒ.පී. කුමාර මහතා ඊයේ (12) දහවල් පැවැසීය.
ඔහුගේ පළමු ආශ්‍රිතයන්ට අයත් පවුල් තිහක පමණ පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව ද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කීය. අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් අත්තනගල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක කලාපය තුළ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යැවීමට නොහැකි වී ඇති රෝගීන් හදෙනකු දින කිහිපයක් තිස්සේ නිවාසවලම පසුවන බව අත්තනගල්ල කලාපය භාර මහජන සෞඛ්‍ය පරික්ෂක සම්පත් දිසානායක මහතා කියා සිටියේය.

බෙම්මුල්ල මහජන සෞඛ්‍ය පරික්ෂක කලාපයමයෙන් පසුගිය අප්‍රේල් මාසයේදී ආසාදිතයන් හැට දෙනකු වාර්තා වූ බවත් ඊයේ (12 වැනිදා) වනවිට අලුතින් අටදෙනකු වාර්තා වී ඇති බවත් බෙම්මුල්ල කලාපය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇම්.ඒ.සී.කේ. මුතුගල මහතා පැවැසීය.නිට්ටඹුව නැගෙනහිර මහජන සෞඛ්‍ය පරික්ෂක කලාපයෙන් ද ඊයේ (12 වැනිදා) වනවිට අලුතින් ආසාදිතයන් එකොළොස් දෙනකු වාර්තා වී ඇත.

අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් දහසයක පදිංචි වයස අවුරුදු තිහත් හැටත් අතර ජනතාවට අද 13වැනිදා සිට 15 වැනිදා දක්වා ස්ථාන පහකදී සයිනොෆාම් එන්නත් ලබාදීම සිදු කරන බව අත්තනගල්ල සහකාර ප්‍රාදේශීය ලේකම් සමීර ජයවර්ධන මහතා ඊයේ (12 වැනිදා) පස්වරුවේ පැවැසීය.

අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වසන්තා රණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් එහි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ දායකත්වයෙන් එන්නත් ලබාදීම සිදු කරන බව ද ඒ මහතා කීය. මේ අනුව අද (13 වැනිදා) නිට්ටඹුව නැගෙනහිර, නිට්ටඹුව බටහිර හා නිට්ටඹුව උතුර යන ග්‍රාම සේවා වසම්වල පදිංචිකරුවන් වෙනුවෙන් නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙන්වූත්, 14 වැනිදා වටද්දර, වටද්දර දකුණ හා වටද්දර බටහිර යන ග්‍රාම සේවා වසම්වල පදිංචිකරුවන් වෙනුවෙන් වටද්දර විහාරස්ථානයේදීත්, 14 වැනිදා එල්ලක්කල, එල්ලක්කල බටහිර, හග්ගල්ල, හග්ගල්ල නැගෙනහිර යන ග්‍රාම සේවා වසම්වල පදිංචිකරුවන් වෙනුවෙන් එල්ලක්කල මහා විද්‍යාලයේදීත්, 15 වැනිදා පින්නගොල්ල, හොරගොල්ලගම, එගොඩ නිට්ටඹුව යන ග්‍රාම සේවා වසම්වල පදිංචිකරුවන් වෙනුවෙන් පින්නගොල්ල විහාරස්ථානයේදීත්, 15 වැනිදා පත්තලගෙදර, පත්තලගෙදර නැගෙනහිර හා දවිලාන යන ග්‍රාම සේවා වසම්වල පදිංචිකරුවන් වෙනුවෙන් පත්තලගෙදර ශ්‍රී බෝධි මංගලාරාමයේදීත් එන්නත් ලබාදීම සිදු කිරීමට නියමිතව ඇත.අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් මෙය සිදුකෙරේ.

මීගමුව

මීගමුවේ ප්‍රධාන මත්ස්‍ය වෙළෙඳපොළෙන් නව ආසාදිතයන් 16ක් ද කැපුගොඩ ධීවර ගම්මානයෙන් නව ආසාදිතයන් 24ක් ද ඊයේ 12 වැනිදා හමු වී ඇතැයි මීගමුව මහජන පරික්ෂක කාර්යාලය පවසයි. මෙම පිරිස පසුගිය 6 වැනිදා මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් පී.සී.ආර්. පරික්ෂණවලට ලක්කර සිටි අතර එහි ප්‍රතිඵල ඊයේ 12 වැනිදා ලැබී තිබුණි. එම ආසාදිතයන්ගෙන් කොටසක් නිවෙස්වල ද සෙසු පිරිස යුද හමුදාව මගින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යැවීමට ද කටයුතු කරනු ලැබූහ.

මීරිගම

මීරිගම මූලික රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි රෝගීන් සඳහා ඊයේ (12 වැනිදා) සිදුකළ අහඹු පරීක්ෂණවලදී කොරෝනා ආසාදිතයන් පස් දෙනකු හමු වී ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි. මෙසේ හඳුනාගත් ආසාදිතයන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

වාද්දුව

දුම්රිය ස්ථානාධිපතිවරයකු කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමග වාද්දුව දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය එම දුම්රිය ස්ථානයෙන් තාවකාලිකව ඉවත්කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කසුන්චාමර ජයසේස්කර මහතා ලංකාදීපයට පැවැසීය. මේ හේතුවෙන් ප්‍රවශපත් නිකුත් කිරීම් හා දුම්රිය නිවේදන කටයුතු සිදු නොවන නමුත් වාද්දුව දුම්රිය ස්ථානය භාවිත කරමින් දුම්රිය මගීන්ට ගමන් පහසුකම් සලසා ගැනීමේ හැකියාව ඇති බවත් ඔහු සඳහන් කළේය. වාද්දුව දුම්රිය ස්ථානය විෂබීජහරණය කර මහජනතාව සඳහා විවෘත කර ඇති බව ද ඔහු පැවැසීය.

නුවරඑළිය

නුවරඑළිය දිස්ත්‍රික්කයේ 11 වැනිදා නව කොවිඩ් ආසාදිතයන් 184 දෙනකු වාර්තා වී ඇත. ඔවුන් සමග සමස්ත ආසාදිතයන් ගණන 2378 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම ආසාදිතයන් අඹගමුව මස්කෙළිය, කොටගල, බගවන්තලාව, ලිඳුල- රාගල, කොත්මලේ, නුවරඑළිය, මතුරට, වලපනේ, හඟුරන්කෙත යන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින් වාර්තා වී ඇත. ආසාදිතයන් අතරින් 760ක් අප්‍රේල් මස 22 සිට මැයි 11 දක්වා වාර්තා වී තිබේ.

කෑගල්ල

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පසුගිය දින එකොළහ තුළදී කොරෝනා ආසාදිතයන් අටසිය අසූනවයක් වාර්තා වී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. මේ වන විට කෑගල්ලේ සමස්ත ආසාදිතයන් ගණන පන්දහස් දෙසියහතක් දක්වා ඉහළ ගොස් ඇත.
දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. එම සංඛ්‍යාව නවසිය හතළිස්දෙකකි. අඩුම කොරෝනා ආසාදිතයන් ගණනක් වාර්තා වී ඇත්තේ බුලත්කොහුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. එම සංඛ්‍යාව 302කි.

පස්සර පොලිසිය

කොවිඩ් ආසාදිතව බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පස්සර පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් ඊයේ (12 වැනිදා) අලුයම ජීවිතක්ෂයට පත්ව තිබේ .
පස්සර ,මාවුස්සාගොල්ල පදිංචි 59 හැවිරිදි මෙම පොලිස් නිලධාරියා පසුගිය මස 25 වනදා අවසන් වරට රාජකාරියට පැමිණ ඉන්පසු 27 වනදා සිට බදුල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

හපුතලේ ප්‍රාදේශීය සභාව
හපුතලේ ප්‍රාදේශීය සභාවේ සේවකයන් හත් දෙනකුට කොවිඩ් 19 ආසාදිත වී ඇති බව සභාපති බී. කන්දසාමි කන්නා පැවසීය.
අවම සේවක සහභාගිත්වයෙන් සෞඛ්‍ය නීති රීතිවලට අනුව ප්‍රාදේශීය සභාවේ දෛනික කටයුතු අඛණ්ඩව කරගෙන යන බවද සභාපතිවරයා පැවසීය.
ගිණුම් අංශයේ දෙදෙනකුට වැඩ පරිපාලකවරයකුට හා රියැදුරෙකුට මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත.
පස්සර මාවුස්සාගොල්ල පදිංචි තවත් පුද්ගලයෙක් කොවිඩ් 19 ආසාදිතව බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී නොබෝදා ජීවිතක්ෂයට පත්ව තිබිණ .

බූස්ස බන්ධනාගාරය

බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 08 දෙනෙකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට පෙරේදා (11 වැනිදා) දින තහවුරු වූ බව බූස්ස බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
බන්ධනාගාරයේ රැඳවූවන් 254 දෙනෙකු පී.සී.ආර්. පරික්ෂණවලට ලක්කොට ඇති අතර එහි ප්‍රතිඵල ලැබී ඇත. එම ප්‍රතිඵලවලට අනුව රැඳවූවන් 08 දෙනෙකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බවද බන්ධනාගාර අධිකාරී කාර්යාලය පවසයි. මෙම රැඳවූවන් බන්ධනාගාරය තුළ වාට්ටු දෙකක නිරෝධායනය වෙමින් සිටියදී පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ලක්කරනු ලබීය.
කොරෝනා ආසාදිත රැඳවූවන් වැලිකඩ බන්ධනාගාරය වෙත යොමු කිරීමට කටයුතු කරන බවද බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.

යාපනය සරවිය

යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියා මණ්ඩපයේ සිසුන් 31 දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී we;ehs විමසීමක දී වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය
මහේන්ද්‍රන් මහතා මේ බව තහවුරු කළේ ය.
යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියා මණ්ඩපයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ විභාග සඳහා පැමිණ
විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල රැඳී සිටි
සිසුන්ගේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඊයේ (මැයි 12) දිනයේ මේ බව තහවුරු වී ඇත.
වවුනියා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, ශිෂ්‍ය නේවාසිකාගාරවල සිසුන් 70
දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට යොමු කළ බවත් ඉන් සිසුන් 31 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති
බවත් ය.
මේ අතර, වවුනියා මහ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු, හෙද නිලධාරීන් දෙදෙනෙකු හා රෝහල් සාත්තු
සේවකයෙකුට ද කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

යාපනය කල්වියන්කාඩු පොදු වෙළද සංකීර්ණය

යාපනය කල්වියන්කාඩු පොදු වෙළද සංකීර්ණය නැවත දැනුම් දෙන තුර වසා දැමීමට සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබේ. කෝවිඩ් ව්‍යාප්තිය සහ වෙළෙන්දන් ඇතුළු ජනතාව සෞඛ්‍යාරක්ෂිත පියවර නොගැනීම හේතුවෙන් මෙම පියවර ගනු ලැබ තිබේ. කල්වියන්කාඩු ප්‍රදේශයේ කිහිප දෙනෙකු කෝවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගැනීමෙන් පසුව සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වෙළද සංකීර්ණයේ සෝදිසියක් කිරීමට තීරණය කර ඇත. එහිදී වෙළෙන්දන් විසින් කිසිදු සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය නොකරමින් වෙළදාම් කටයුතු සිදු කිරීම මෙන්ම පාරිභෝගිකයන්ද නිරෝධායන නීති අනුගමනය නොකරමින් සැරිසැරීම හේතුවෙන් වෙළඳ සංකීර්ණය මෙලෙස වසා දැමීමට පියවර ගනු ලැබීය.‍

ක්‍රීඩා අමාත්‍යංශය

පී.සී.ආර්. හා ක්‍ෂණික ප්‍රතිදේහ (ඇන්ටිජන් )පරීක්ෂාවට අනුව ක්‍රීඩා අමාත්‍යංශයේ සේවක සේවිකාවන් 20දෙනකුට ආසන්න පිරිසක් මේ විට කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු කරගෙන ඇතැයි වාර්තා වේ. පසුගිය දින කිහිපයකදී ක්‍රීඩා අමාතයංශයේ සේවක සේවිකාවන් හා නිලධාරීන් 200කට ආසන්න පිරිසකගෙන් ලබාගත් නියැදී පරික්ෂාව අනුව 20 දෙනකුට ආසන්න පීරිසක් කොවිඩ් ආසාදිතයන් පිරිසක් හඳුනාගෙන තිබේ. මෙම තත්ත්වය තුළ දින ගණනාවක්ම රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රධාන කාර්යාල පරිශ්‍රය ඇතුළු ටොරින්ටන් පෙදෙසේ සහ එහි වෙනත් කාර්යාලවල මෙන්ම න්වාසිකාගාරවලට පිටස්තරයන් ඇතුළු කරගැනීම සීමාකර තිබුණි. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා කළ විමසුමකදී පැවසුවේ කොවිඩ් රෝගීන් පිරිසක් සිටින බව තහවුරු කරගත්තත් ක්‍රීඩා අමාත්‍යාංශයේ කටයුතු සීමිත සේවක සේවකාවන් පිරිසක් කැඳවමින් අඛණ්ඩව පවත්වාගෙන ගිය බවයි.
කෙසේවත් මෙතෙක් ක්‍රීඩා අමාත්‍යාංශයේ කිසිදු ඉහළ පෙළේ නිලධාරියකුට කොවිඩ් වැළඳුණු බවට වාර්තවී නැත. ජාතික ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය ලාල් ඒකනායක මහතා පැවසුවේ ක්‍රීඩාඅමාත්‍යාංශයේ දෛනික කටයුතු නිරෝධායන නීති යටතේ දිගටම පවත්වාගෙන යාමට උපදෙස් ලබාදී තිබෙන බවයි. මේ අතර නිරෝධායන නීති යටතේ ජාතික පුහුණු සංචිත කීපයක් තවදුරටත් පවත්වාගෙන යාමට අවසර ලැබී තිබේ. පී.සී.ආර්. පරීක්ෂෂ්ණවලදී ක්‍රිකට් හා පාපන්දු ක්‍රීඩකයන් කීපදෙනකු කොඩ් ආසාදිතයන් බවට පසුගිය දිනවලදී තහවුරු කරගෙන තිබේ. එසේ වුවත් සෙසු ක්‍රීඩා ඉසව්ලට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිසිවකුත් මේ දක්වා කොවිඩ් ආසාදිතයන් වූ බවට වාර්තා වී නැත.
ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවේදී පාපන්දු ක්‍රීඩකයන් හා නිලධාරීන් ගණනාවක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු කරගැනීමෙන් පසු ඔවුන් ක්‍රීඩා කරන තරග දෙකක් එම අවස්ථාවේදීම අත්හිටුවීමට නොබෝදා ආරම්භ වූ ශ්‍රී ලංකා සුපලීග් පාපන්දු තරගාවලියේදී එහි බලධාරීන් කටයුතු කළේය’

 

Leave a Reply

Your email address will not be published.

Back to top button