ගොසිප් පුවත්

ඉන්ධන හිඟය හේතුවෙන් ධාවනය අතහැර දැමූ රථවාහන ගැන ඔබ සැලකිලිමත් විය යුතු දේවල්

ඉන්ධන හිඟය හේතුවෙන් වාහන හිමියන් සැලකිය යුතු ප්‍රතිශතයක් වාහන ධාවනයෙන් ඉවත් වී සහ වාහන හිමියන් වෙනත් ප්‍රවාහන මාධ්‍ය වෙත නැඹුරු වී තිබෙන බවද මේ වන විට දක්නට ලැබෙනවා.

මේ හේතුවෙන් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කළ පෞද්ගලික මෝටර් රථ ගෘහස්තව නවතා තැබීමේදී, අවම ඉන්ධන මට්ටමකින් ධාවනයේදී සහ බට මඟින් ඉන්ධන ඉවත් කිරීමේදී වඩාත්ම සැලකිලිමත් විය යුතුයි.

රථ වාහන එකම ස්ථානයක නවතා තැබීමේදී මීයන් ඇතුළු බෝවන සතුන්ගෙන් සහ කෘමින්ගෙන් වාහන වලට හානි සිදුවිය හැකියි.

එසේම වාහන බැටරිය නඩත්තුවෙන් තොර වීමට හානිදායක විය හැකියි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීණ මෝටර් රථ තාක්ෂණික ඉංජිනේරු ජගත් ජයසිංහ මහතා සඳහන් කළේ :

වාහනය ධාවනයේදී:

“බොහෝ දෙනෙක් අන්තිම ඉන්ධන බින්දුව වෙනකන්ම වාහන පදවනවා. පවතින තත්ත්වය එක්ක වෙන විකල්පයක් නැති නිසා.”

“එහෙම වුනත් විශේෂයෙන්ම පෙට්‍රල් සහ හයිබ්‍රිඩ් මෝටර් රථ වලට ඒක ඒ තරම්ම හොඳ තත්ත්වයක් නෙමෙයි.”

“පෙට්‍රල් ටැංකියේ තෙල් ප්‍රමාණය පහළට බහින්න, බහින්න, එකේ උෂ්ණත්වය ඉහළ යනවා. එතකොට එකේ තියෙන පෙට්‍රල් Pumps එක අධික උෂ්ණත්වයට පත්වෙලා විනාශ වෙන්න තියෙන හැකියාව වැඩි වෙනවා.”

“ලයිට් එක පත්තු වුතන් බොහෝ දෙනෙක් කියනවා තව මෙච්චර කිලෝමීටර ප්‍රමාණයක් දුවන්න පුළුවන් කියලා. නමුත් තාක්ෂණිකව මට කියන්න තියෙන්නේ තෙල් ලයිට් එක පත්තු වෙනවා නම්, (ඩිසල් හෝ පෙට්‍රල්) ඔබේ වහනය එතනින් එහාට තවත් පදවද්දී මේකේ තියෙන ඉලෙක්ට්‍රොනික් පරිපත වලට නැත්තන් Fuel System එකේ තියෙන Electric Pump එකට හොඳ නැහැ.”

බට යොදා ඉන්ධන ඉවතට ගැනීමේදී:

“බොහෝ වාහන වල ටැංකිය ඉස්සර වගේ උස නැහැ. පැතලි ටැංකියක් තියෙන්නේ පෙට්‍රල් මෝටර් රථ වල. විශේෂයෙන්ම හයිබ්‍රිඩ් මෝටර් රථ වල.”

“ඒ නිසා ඔබ වහනයෙන් පෙට්‍රල් ඉවත් කිරීමට උත්සාහ කරනවා නම් බට ඇතුල් කරලා, ඒක කීයටවත් කරන්න එපා නවීන මෝටර් රථයක.”

“ටැංකිය පැතලිවීම හින්දම අර ඇතුල් කරන නල වලින් එකේ තියෙන, Non return valve එක (පෙට්‍රල් පුරවන බටය සහ ටැංකිය අතර) විනාශ වෙලා ටැංකිය ඇතුලට වැටෙන්න පුළුවන්. ස්ථිරවම.”

“ඒ වගේම තමයි මේ පුරවන බටය ගිනින් ටැංකිය ඇතුලේ තියෙන පෙට්‍රල් ලෙවල් එක පෙන්වන Gauge එක Damage වෙන්න පුළුවන්.”

“මීට අමතරව එකේ ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රොනික පරිපත කොටස් Damage වෙන්න පුළුවන්.”

ඉන්ධන පෝලිම් වලදී වාහනය පණ ගැන්වීම සහ නතර කිරීම සිදු කිරීමේදී:

“බැටරියේ කාලය අවසන් වෙන්න ලං වෙලා තියෙනවා නම් මේ වාහනය පණ ගැන්වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ඉන්ධන ලබා ගැනීමට යන්න ඉස්සෙල්ලා ඔබේ වාහනයේ බැටරියේ තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වන්නට ඕනේ.”

“නමුත් වාහනයක් පණ ගැන්වීම හෝ නැවත්වීම සිදු කලාට කිසි ගැටළුවක් නැහැ, ඔබේ වහනය නිරෝගී මට්ටමක තියෙනවා නම්.”

“එතකොට ඔබ වහනය Start කරලා වහනය පණ ගන්වලා නැවත නවත්වනවා නම්, මෙම වහනය ඉදිරියට අරගෙන යන්න ගියහම වාහනයේ නිරෝගී බැටරියක් නොතිබුණොත්, නිරෝගී Starter මෝටර් පද්ධතියක් නොතිබුණොත් එතැනදී ගැටළුවක් මතු වෙන්න පුළුවන්.” යනුවෙනි.

මීට අමතරව ඔබ නිතර පදවන වාහනයක් නඩත්තු කිරීම සඳහා විශාල වැඩ කොටසක් කිරීමට අවශ්‍ය වනවා. තෙල් පරීක්ෂා කර වෙනස් කිරීම, ටයර් මාරු කිරීම, එය පිරිසිදුව තබා ගැනීම ඒ අතර ප්‍රධාන තැනක් ගන්නවා.

නමුත් වාහනය තාවකාලිකව නතර කර තිබුණත් එය නඩත්තු කිරීම සහ රථය මාර්ගයට සූදානම් කිරීම සිදුකළ යුතුයි.

ඒ අනුව ඔබ සිදුකළ යුත්තේ:

1) රථයේ තෙල් වෙනස් කිරීම කාලසටහනකට අනුව පවත්වාගෙන යාම.
2) ඉඳ හිට ඔබේ මෝටර් රථය පදවන්න.
3) Tire pressure ගැන විමසිල්ලෙන් සිටින්න.
4) ඉන්ධන ටැංකිය හිස්ව නොතබන්න.
5) ඔබේ මෝටර් රථයේ පිටත පිරිසිදු කිරීම සහ එය ආවරණය කිරීම සිදු කරන්න.
6) මෝටර් රථයේ අභ්‍යන්තරය පිරිසිදු කරන්න.
7) වාහනයේ සතුන් රැඳී සිටිනවාද නැද්ද යන්න නිතිපතා පරීක්ෂා කරන්න.
8) බැටරිය Disconnect කරන්න.
9) ඔබේ වාහන රක්ෂණ ඔප්පුව පවත්වා ගන්න.
(COLOMBO TIMES | Vimarshana Samarakoon)

Viber
colombotimes.lk

The post ඉන්ධන හිඟය හේතුවෙන් ධාවනය අතහැර දැමූ රථවාහන ගැන ඔබ සැලකිලිමත් විය යුතු දේවල් appeared first on Colombo Times.

Back to top button