දේශීය පුවත්

ජනපතිගේ තීරණය ආපස්සට ගනී – විවෘත විශ්වවිද්‍යාල උපකුලපති ධූරය මුලින් තේරූ අයෙකුටම දීලා

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය සඳහා නිසි පටිපාටිය අනුව සුදුසුකම් මත සම්මුඛ පරීක්ෂණ පවත්වා තිදෙනෙකුගේ නම් ජනපති ගෝඨාභය රාජපක්ෂ වෙත මීට මාස කිහිපයකට පෙර යවනු ලදුව එම නම් තුනම කිසිදු හේතුවක් නොදන්වා ප්‍රතික්ෂේප කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් අර්බුදකාරි තත්ත්වයක් උද්ගත වූ අතර ජනපතිට කැමති කෙනෙකු සොයන්නට දෙවන වරටත් විශ්ව විද්‍යාලය මගින් සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියක් අරඹන ලදි. කෙසේ වෙතත් දෙවැනි වරට ආරම්භ කර තිබූ ක්‍රියාවලියට සහය නොදීමට සනාථන සභාව තීරණය කරන ලදි. ඒ ගැන සරසවි ආචාර්යවරුන් ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද පැවැත්වූ අතර මෙම තිදෙනා හැර වෙනත් තැනැත්තකු එම ධුරයට පත් කිරීමට විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමය දැඩි ලෙස විරෝධය පළ කරන ලදි.
මෙම විරෝධතාවලින් පසු ජනපතිවරයා සිය තීරණය යලි ආපස්සට හරවා ඇති අතර මුලින් යැවූ නම් තුනෙන් එක් අයෙකු තෝරාගෙන ඇත. ඒ අනුව කැලණිය විශ්වවිද්‍යාලයේ සේවය කළ මහාචාර්ය ලාල් තිලකරත්න ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (24 වැනිදා) පියවර ගෙන ඇත.
මෙම මහාචාර්යවරයාට අමතරව එම විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩී. ආර්. දොලගේ සහ මහාචාර්ය ශිරෝනිකා කරුණානායක තෝරා යැවූ නම් අතර විය.

Back to top button