ජනාධිපති ධූරය බැසිල්ට 2024 ලු නාමල්ට 2030 ලු

මෙවර මව්රට ඉරිදා පුවත්පත  මගින් හෙළිකර තිබෙන රාජ්‍ය රහස් විශේෂාංගයේ සඳහන් වන ආකාරයට රාජපක්ෂ පවුලේ විශේෂ සාකච්ඡාවක් ඉකුත් බදාදා ජනාධිපතිවරයාගේ මිරිහානේ පිහිටි නිවෙසේදී පවත්වා තිබේ.
ගෝඨාභය, මහින්ද, චමල් පමණක් එම අතිශය රහසිගත සාකච්ඡාවට එක්ව ඇත.
මෙහිදී රාජපක්ෂ පවුලේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් විවෘත සාකච්ඡාවක් පැවති බවත් සාකච්ඡාව සූදානම් කළ
චමල් මේ වන විට මතුව ඇති ආණ්ඩුවේ අර්බුද ජනාධිපති හා අගමැති සොයුරන් හමුවේ ඉදිරිපත් කර ඇති බවත් පැවසුණි.

බැසිල්ගේ දේශපාලන ආගමනය ගැනද එහිදී කතාවී ඇති අතර  23 වැනිදා බැසිල් ලංකාවට පැමිණීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දී පූර්ණකාලීනව දේශපාලනය කිරීමට සූදානම් නම් තමා යටතේ පවතින මුදල් අමාත්‍යාංශය බැසිල්ට භාරදීමට සූදානම් බව මහින්ද  දැනුම්දී තිබේ.
මුදල් අමාත්‍යාංශය භාරදෙන්නේ නම් දැනට මතභේදයට තුඩුදී ඇති එක්තරා ප්‍රධාන ලේකම්වරයකු ඉවත් කිරීම සම්බන්ධයෙන්ද තීන්දුවක් ගෙන ඇති බව නිල නොවන ආරංචි මාර්ග උපුටමින් පුවත්පත සඳහන් කරයි.

පසුගිය සතියේ කටකතාවකින් කියැවුණේ ලබන සැප්තැම්බර් මාසයේදී නාමල්ට අගමැති ධුරය ලබාදී අනතුරුව 2024 ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් අභිෂේක ගැන්වීමට සූදානම් කොට ඇති බවකි. ජනාධිපතිවරයාද තමන් යටතේ පවතින කාර්යසාධක බළකා තුනකම ප්‍රධාන පුටුව නාමල්ට ලබාදීම සහ ඩිජිටල් අමාත්‍ය ධුරය නාමල්ට පැවරීම පසුපස මෙම විශ්වාසය මතු කර තිබේ.

නාමල්ගේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන්ද ගෝඨාභය, මහින්ද හා චමල් අතර සාකච්ඡාවේදී කතාවී ඇති බවත් නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක තීන්දුවක් මෙහිදී රාජපක්ෂවරුන් විසින් ගෙන ඇති බවත් පුවත්පත වාර්තා කරයි.

2024 ජනාධිපතිවරණයට නාමල් ඉදිරිපත් නොකිරීමට එම තීන්දුව ගෙන තිබේ. 2024ට නාමල් ඉදිරිපත් කිරීම ඉක්මන් වැඩි බවත්, 2030 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වන විට නාමල් මුහුකුරා ගිය දේශපාලකයකු වශයෙන් සටනට ඉදිරිපත් විය හැකි බවත්, ඒ දක්වා වූ කාලය අතරතුර නාමල් ශක්තිමත් කළ යුතු බවත් මෙහිදී තීන්දු වී ඇත.
මහින්ද මෙහිදී පෙන්වා දී ඇත්තේ නැවත වතාවක් ගෝඨා 2024 ජනාධිපතිවරණයට තරග කළ යුතු  බවත් වන නමුත් ඊට ගෝඨාභය ස්ථිර වචනයක් දී නැති බවද  බැසිල්ගේ නමද එහිදී 2024 අපේක්ෂකයා ලෙස සාකච්ඡාවට ලක්ව ඇති බව දැනගන්නට ඇති අතර ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඉදිරි වසර දෙක තුන ඇතුළත රට ආර්ථික වශයෙන් ශක්තිමත් කොට පෙන්වුවහොත් ඔහුටද 2024 අපේක්ෂකත්වය විවෘත බව මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇත.

බදාදා පැවැති මෙම සාකච්ඡාවෙන් අනතුරුව අරලියගහ මන්දිරයේ බැසිල් වෙනුවෙන්ම විශේෂ කාර්යාලයක් නිර්මාණය කරන ලෙසට උපදෙස් ලැබී ඇති අතර කාර්යාලයට යාබදව සම්මන්ත්‍රණ ශාලාවක් ඇතුළු අමාත්‍යාංශයක් මෙහෙයවීමට හැකි සියලු පහසුකම් සපයන ලෙසටද මෙ වන විට ඉහළින් උපදෙස් ලැබී තිබේ. ඒ අනුව  බැසිල් ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය භාරගැනීමෙන් පසු අරලියගහ මන්දිරය ඇතුළේ සිට සිය අමාත්‍යාංශයේ කටයුතු මෙහෙයවනු ඇති බවට පුවත්පත වාර්තා කර තිබේ.
 

Exit mobile version