දේශීය පුවත්

කොවිඩ් මෘත ශරීරයක් නැවත පීසීආර් කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

මියගිය පසුව කොරෝනා ආසාදිතයකු බවට අනාවරණය වී ඇති පුද්ගලයකුගේ මෘත ශරීරයක් යළි පීසීආර් පරීක්ෂණයකට භාජනය කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ලබා දී ඇත.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ඊබ්‍රා ලෙබ්බේ මොහොමඩ් හකීම් නැමැත්තෙකු විසින් එම පෙත්සම ගොනුකර තිබුණි.

එම පෙත්සම ඊයේ (17) සලකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෲ මහතා එම පෙත්සම තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති හෙයින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස විරෝධතාවක් මතු කර තිබුණි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර සිටියේ, මරණකරු මියයාමෙන් පසුව සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තාව දෝෂ සහගත බවට තහවුරු කළ හැකි සාධක හා සාක්ෂි කිසිවක් පෙත්සම්කාර පාර්ශවය විසින් අධිකරණය හමුවේ ගොනුකර නොමැති බවය.

එසේ තිබියදී යළි පීසීආර් පරීක්ෂණයක් පවත්වන ලෙස කරනු ලබන ඉල්ලීම පදනම් විරහිත බව ඔහු සඳහන් කළේය.

මරණකරුගේ මරණය සිදුවීමට හේතු වූ කරුණු අනාවරණය කරගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට වගඋත්තරකරුවන් සූදානම් වූවද ඊට මරණකරුගේ පියා හෝ ඥාතීන් මේ දක්වා සහයෝගය ලබාදී නොමැති බවද පැවසුවේය.

ඒ අනුව එම පෙත්සම තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති හෙයින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඊයේ දින අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා ඊයේ දින අධිකරණය හමුවේ සඳහන් කළේ, පීසීආර් පරීක්ෂණවල දෝෂ පැවැත්විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවා පිළිගෙන තිබෙන බවය.

මේ හේතුවෙන් මරණකරු නිශ්චිතවම මියගියේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ද යන්න තහවුරු කරගැනීම සඳහා තම සේවාදායකයින්ට දෙවන පීසීආර් පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය වී තිබෙන බව ඔහු සඳහන් කළේය.

පෙත්සම්කරු සඳහන් කරන්නේ 26 හැවිරිදි තම පුත්‍රයා වන මොහොමඩ් හකීම් මොහොමඩ් තිල්ශාඩ් නැමැත්තා ඉකුත් ජනවාරි මස 31 වනදා දකුණු කොළඹ කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බවය.

ඔහුගේ මෘත ශරීරය සම්බන්ධයෙන් සිදුකළ පීසීආර් පරීක්ෂණවලින් ඔහු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වී ඇති බව රෝහල් බලධාරීන් විසින් ප්‍රකාශ කළේ යැයි පෙත්සම්කරු පවසයි.

ඔහුගේ මෘත ශරීරය මේ වන විට කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන බවද පෙත්සම්කරු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.

Back to top button