දේශීය පුවත්

ආර්ථීක මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුවයි

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා විශාල මෙහෙයක් සිදුකරන දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන 16 ට පැමිණෙන වෙළෙදුන්ට හා පාරිභෝගික ජනතාවට කොවිඩ් ආසාදනය වී වෛරසයේ ව්‍යාප්තියක් ඇතිවුවහොත් එය බරපතල තත්ත්වයක් වන බැවින්, එසේ සිදු නොවී ආර්ථික මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ මාර්ගෝපදේශණ මාලාවක් සකස් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය. නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.

පවතින කොවිඩ් -19 වසංගතය පිළිබඳවත්, රෝග ව්‍යාප්තිය හා එය වැළැක්වීමට ගත යුතු ක්‍රමවේදයන් පිළිබදවත් දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන වල කළමනාකාරවරුන් දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය නිතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී අද දින (24දා) පැවැති හමුවේදී අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

“මෙරට ආර්ථික මධ්‍යස්ථාන සඳහා දිවයිනේ බොහෝ තැන්වලින් විශාල ලෙස භාණ්ඩ රැගෙන එනවා මෙන්ම බොහෝ ස්ථාන වලට භාණ්ඩ පිට වෙනවා. එබැවින් මෙම ආර්ථික මධ්‍යස්ථාන තුළින් දිවයිනටම කොවිඩ් වෛරසය පැතිරීමේ අවධානමක් තිබෙනවා.

එම කරුණු පිළිබඳව රජය සහ සෞඛ්‍ය අංශ දැඩි අවධානය යොමු කරමින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව එම කටයුතු සිදු කිරීමට පියවර ගත යුතුව තිබෙනවා.” යැයි ඇය පැවැසුවාය.

මෙහිදී පහත සඳහන් මාර්ගෝපදේශන මාලාව ක්‍රියාත්මක කරන ලෙසට හා අධීක්ෂණය කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරිය දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන වල කළමනාකාරවරුන්ගෙන් ඉල්ලා සිටියාය.

  • සෑම ආර්ථික මධ්‍යස්ථානයකටම කොවිඩ් -19 මර්ධන කටයුතු සඳහා එම මධ්‍යස්ථානයට ආවේනික සැලැස්මක් සකස් කිරීම.
  • එම සැලසුම් ක්‍රියාත්මක වීම පිළිබඳව සොයා බැලීමට ඒ් වෙනුවෙන්ම නිළධාරියෙකු පත් කිරීම.
  • ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රය නිරතුරුවම පිරිසිදුව පවත්වාගෙන යාම.
  • ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රය තුළ බුලත් කෑම / දුම් බීම / කෙළ ගැසීම නොකළ යුතු බව මධ්‍යස්ථාන පරිශ්‍රයට පැමිණෙන ජනතාව දැනුවත් කිරීම.
  • පුද්ගල දුරස්ථභාවය පවත්වා ගෙන යාමට කටයුතු කිරීම.
  • ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේ කසළ නිසි ලෙස බැහැර කිරිම.
  • ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයට පැමිණෙන්නන් අහඔු ලෙස PCR පරීක්ෂණ වලට යොමු කිරීම.‍
  • ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයට පැමිණෙන්නන්ට දෑත් සේදීමට අවශ්‍ය පහසුකම් සැළසීම.

Leave a Reply

Your email address will not be published.

Back to top button