දේශීය පුවත්

ගාල්ලෙන් එන්නත් ලබාගත් කොළඹ පදිංචිකරුවන්ගේ නාම ලේඛණය නිකුත් වෙයි

උණවටුන පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදි පසුගිය 5 සහ 7 යන දිනවල ඇස්ට්‍රාසෙනිකා කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව බස්නාහිර පළාතේ පුද්ගලයින් 425 දෙනෙකුට ලබාදී ඇතැයි අනාවරණය වී තිබෙනවා.

ඒ, ගාල්ල මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනූව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් ගාල්ල පොලීසියට ලබාදුන් නාම ලේඛනයේයී.

එම දිනවල එන්නත් ලබාදී ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 632 ක්.

නුවරඑළිය සහ මහනුවර ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් සහ මාතර ප්‍රදේශයේ නව දෙනෙක් ද, ඊට ඇතුළත්.

අදාළ දිනවල කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීම සඳහා බස්නාහිර පළාතෙන් විශාල පිරිසක් වාහනවලින් දක්ෂිණ අධිවේගි මාර්ගයෙන් පැමිණ ඇති බවට ලැබුණු තොරතුරු අනුව පරික්ෂණ සිදු කරන ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අධිකරණයට කරුණු වාර්තා කරමින් ඉල්ලා සිටියේ අදාළ නාමලේඛණය ලබාදෙන ලෙසයි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ද මේ සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වන්නැයි පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Back to top button