දේශීය පුවත්

අනාගතයේ ඉපදීමට සිටින දරුවන්ගේ ආයු කාලය අඩුයි

ලොව සිදුකර ඇති පර්යේෂණ අනුව අනාගතයේ ඉපදීමට සිටින දරුවන්ගේ ආයු කාලය දැන් ජීවත්වන පරම්පරාවට සාපේක්‍ෂව අඩු බවත්, එබැවින් වර්තමානයේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැවසීය.

2025 වර්ෂය වනවිට ඉපදෙන දරුවන්ගේ ආයුකාලය අවුරුදු 40 – 45 අතර බවට සොයාගෙන ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.හෙතෙම මේ බව පැවසුවේ,ඊයේ (09දා). රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ‘හරිත ආර්ථිකය කුමක්ද සහ කුමකටද? යන මැයෙන් පැවැති මාධ්‍ය හමුවේදීය.හරිත යන වචනය හා හරිත විප්ලවය ආදිය මින් පෙර වැරදියට භාවිත කළබවත්,ඒතුළ කතා කළ යුත්තේ තිරසාර සංවර්ධනය, එනම් මිනිසුන්, භූමිය සහ පරිසරය රැකගනිමින් සංවර්ධනය කරා යෑම සිදුකරන ආකාරය පිළිබඳ බවත් ඒ මහතා සඳහන් කළේය.

රසායනික ද්‍රව්‍ය ජලයට, පසට සහ ආහාරවලට එක්වීමෙන් ගොවියා මෙන්ම සාමාන්‍ය ජනතාවද රෝගීන් වීම පිළිබඳවද මෙහිදී විශේෂඥ වෛද්‍යවරයා පැහැදිලි කළේය.

2008 වසරේ අධ්‍යයනයකට අනුව ශ්‍රී ලංකාවේ දියවැඩියා ප්‍රවණතාව20%ක්, 2012දී එම ප්‍රවණතාව 26%ක්ද, 2019දී කොළඹ නගරයෙහි ජනතාවගේ ස්ථුලභාවය 59%ක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය. පසුගිය වකවානුවේදී ආහාරයට වඩා ව්‍යායාම වැදගත් බවට මතයක් ජනතාව අතර පැවැති අතර, එය වැරදි මතයක් වන බවත්, ආහාර සහ ව්‍යායාම යන දෙකම පුද්ගලයෙකුට වැදගත් වුවද, වැඩි. අවධානයක් ආහාර සඳහා යොමුකළ යුතු බවත් අනුරුද්ධ පාදෙණිය මහතා පැවසීය.

වසර හැටපහක් තිස්සේ වසවිස ආහාරයට ගනිමින් සිදුකළ කුරිරු ආහාර යුද්ධයට තිත තැබීමට කාලය එළඹ ඇති බව කී විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, රසායනික පොහොර ආනයනය නතර කරමින් කාබනික පොහොර රට තුළ ප්‍රචලිත කර ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් ගෙන ඇති පියවර අගය කළ යුතු බවයි.

වස විසෙන් තොර රටක් බිහිකර ගැනීම සඳහා සිදුකළ මෙම කාබනික පොහොර භාවිතය හේතුවෙන් අනාගතයේදී රට සාගතයකට මුහුණපාවිදැයි බොහෝ පුද්ගලයන් තුළ බියක් ඇතැයිද, එලෙසකිසිදු සාගත තත්වයකට යාමට අප රටට සිදුනොවන බව පැහැදිලිවම කිව යුතු බවද පාදෙණිය මහතා සඳහන් කළේය. කාබනික වගාව හේතුවෙන් අනෙත් කිසිදු අඩුවක් සිදුනොවන බවත්, ඇතැම් කාබනික වගාවල අස්වනු විශ්ලේෂණයේදී සිවු ගුණයකින් වැඩි අස්වැන්නක් ලැබී ඇති බවත් හෙතෙම කියා සිටියේය.

(නවෝද්‍යා පවනි)

Back to top button