කොරෝනාව බිලිගත් මුල්ම ගැබිනි මව

නීලිකා ප්‍රනාන්දුට මංගල සීනු හැඬවුණේ ටිකක් කල්ගතවීය. ඇගේ ඉරණම්කාරයා වූයේ රාගම තේවත්තේ චමින්ද කුමාරය. ඔවුන් විවාහ වූයේ දෙදහස් දහනවයේ ඔක්තෝබර් 24 වැනිදාය. ඒ ලංකාවෙන් හමු වූ පළමු කොරෝනා රෝගී චීන කත ලංකාවෙන් හමුවූ කාලයේය. ඒත් ඒ වද්දී කොරෝනා රෝගයේ බරපතළකමක් ලංකාවේ හැම කෙනකුටම මෙන් ඔවුන් දෙදෙනාටත් දැනුණේ නැත.

නීලිකාගේ ගම මොරටුව වුවත් විවාහයෙන් පසු ඇය රාගම තේවත්තේ වූ චමින්දගේ නිවසේ නව ජීවිතය පටන් ගත්තාය. විවාහ වූ දා පටන් ඔවුන් දකින්නට ඇඟිලි ගනිමින් සිටි “කිරි සිහිනය” ඉටුවන ලකුණු ආවේ විවාහයෙන් අවුරුද්දකුත් මාස දෙකතුනක් ගෙවුණාට පසුවය. ඒ වනවිටත් අවුරුදු හතළිස් පහකටත් ආසන්න වයසකට ළඟාවෙමින් සිටි නිසාම නීලිකාත් චමින්දත් දරු පැටියා කුසට ආදා පටන් ඒ නූපන් දරුවා මැණිකක් සේ ආරක්ෂා කළහ. ඒ වනවිට කොරෝනා පළමු රැල්ලත්, දෙවැනි රැල්ලත් හමා ගොස් භයංකර තත්ත්වයෙන් රට මිදෙමින් තිබුණි. රටේ සේම ඔවුන්ගේ හිතෙත් එනිසා කොරෝනාවට ඇතිවී තිබූ බිය ටිකෙන් ටික පහව යමින් තිබුණේය. ඔවුන්ගේ ‘රෝස කිරි සිහිනය’ නීලිකාගේ කුසේ වැඩෙන්නට ගන්නේත් රට ඒ භයංකර තත්ත්වයෙන් මිදීගෙන යන කාලයේය. රැකියාවට, පල්ලියට, යමින් ඔවුහු සැනසිල්ලේ ජීවිතය ගෙවමින් සිටියහ.

චමින්ද රැකියාව කළේ ඔවුන්ගේ ගම් ප්‍රදේශයේමය. නීලිකාගේ රැකියා ස්ථානය වූයේ කොළඹය. ඇය ඒ වන විට රැකියාවට යමින් එමින් සිටියේ කාර්යාලයීය නෝනා මහතුන් පමණක් යනෙනා බස් රියකිනි. ඒ නිසා කොරෝනා රෝගය ගැන හිතේ ඒ තරමට බයක් වූයේ නැත. ඒත් එසේ සැනසිල්ලේ කිරි සිහින දකිමින් ගෙවූ ජීවිතය සැඩ සුළඟකට හසුවූයේ අප්‍රේල් මස මැදදී තුන්වැනි වරටත් හිස එසවූ අලුත් අවුරුදු කොරෝනා පොකුරත් සමගය. එවිට නීලිකාගේ දරු කුසට යාන්තම් මාස තුන සම්පූර්ණ වූවා පමණි. තවත් ප්‍රාණියෙක් කුස තුළ ජීවත් වෙමින් ඉන්නා නිසා එතැන් පටන් ආයෙත් ඈ යනෙන, කන බොන, මෙන්ම වැඩ කරන මොහොතවල්වල පවා වෙනදාටත් වඩා පරෙස්සම් වූවාය.

ඒ පරෙස්සම් වී සිටි නීලිකාට එක්වරම සෙම ගතියකුත් කැස්සකුත් හට ගත්තේ අප්‍රේල් මාසය ඉවරවෙන්නට ඔන්න මෙන්න කියා තිබියදීය. ඈ හිතට සේම චමින්දගේ හිතටත් අනියත බියක් ඇතිවුණේය. නීලිකාගේ පී.සී.ආර්. පරික්ෂාවක් කරගත්තේ හිතේ වූ සැක දුරු කරගන්නටයි. ඒත් ඊට පසුදා ලැබුණු පී.සී.ආර්. පරික්ෂාවේ වූයේ හිතේ සැක දුරුවෙනු වෙනුවට හිත ගිනි වැදෙන ප්‍රතිඵලයකි. නීලිකා කොරෝනා ‘පොසිටිව්’ බවට පරීක්ෂණ වාර්තාව පෙන්වා තිබුණි.

” එයා කොරෝනා පොසිටිව් කියලා දැනගත්තට පස්සෙ ඇම්බියුලන්ස් එක ඇවිත් එයාව රාගම රෝහලට අරන් ගියා. වෙන ලෙඩකදි නම් ලෙඩා ළඟ ඉන්න පුළුවන්. ළඟ ඉන්න තරම් අමාරුවක් නැතත් එයාව හොස්පිට්ල් එකට ඇතුළු කරලා, ඇඳේ ඉන්දවලා, ටිකක් වෙලා කතා කර කර ඉඳලා හරි එනවා. ඒත් මේ ලෙඩේ එහෙම බෑ. ලෙඩා විතරයි ඇම්බියුලන්ස් එක ඇවිත් අරන් ගියේ. ඒ යනකොටත් එයා කිව්වේ මට පරෙස්සම් වෙන්න කියලයි. එයා බබත් පරෙස්සම් කරගෙන ඉක්මනට හොඳවෙලා එන්නම් කිව්වා. සෙම ගතියයි පොඩි කැස්ස ගතියයි ඇරෙන්න එයාට කිසිම රෝගී බවක් තිබ්බෙ නෑ. හොඳට කෑවා. ඇවිද්දා, කතාබහ කළා වෙනද වගේම. ඒ ගිහින් මට කතා කළා, රාගම රෝහලට තමයි ඇතුළු කරලා තිබුණේ. එදා දවස විතරයි රාගම හිටියේ. ඊට පහුවදාම එයා රාගමින් මිනුවන්ගොඩ රෝහලට මාරුකරලා තිබුණා.”

ඒ වන විට කොරෝනා ආශ්‍රිතයෙකු වී සිටි චමින්ද ද නිවසේ නිරෝධායනයට ලක් කර සිටි අතර දෙදෙනාම දෙදෙනාගේ තොරතුරු දැනගන්නේ හැකි හැම වෙලාවකම ඔහුත් ඇයත් දුරකතනයෙන් කතා කළ නිසාය. ඒ වනවිට ඔවුන් දෙදෙනාගේම සිත් සනහන එකම ගැළවුම්කරු වී තිබුණේ දෙදෙනාගේ ජංගම දුරකතන දෙකයි.

” මිනුවන්ගොඩ රෝහලේදිත් එයාට පුළුවන් හැම වෙලාවකම අපි කතා කළා. එයාට තිබුණ එකම බය දරුපැටියා ගැන. හැම මොහොතකම කිව්වෙ දරු පැටියා පරෙස්සම් කරගන්න එක. එයාට මොනවත් එහෙම අමාරු තත්ත්වයක් තිබ්බෙ නෑ. හැබැයි මැයි හතරවැනිදා වෙද්දී එයාට හුස්ම ගන්න අමාරුයි වගේ කිව්වා”

නීලිකා ප්‍රනාන්දු මඳක් උස මහත කාන්තාවක් වූවාය. ඒ වනවිට ඈ රුධිරයේ සීනී තත්ත්වයෙන් ද අධි රුධිර පීඩන තත්ත්වයෙන් ද පෙළෙමින් සිටියාය.

” මැයි පළවැනිදා රාත්‍රියේ මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කරපු මේ අම්මා සාමාන්‍ය මට්ටමින් හිටියා. මැයි හතරවැනිදා වනවිට සාමාන්‍ය පුද්ගලයකු සතුව සියයක්ව පැවතිය යුතු රුධිරගත ඔක්සිජන් මට්ටම ඇගේ අනූ අටක් දක්වා අඩුවී තිබුණා. ඇයට හුස්ම ගැනීමේ අපහසු බවක් ආවා. මේ රෝහලේ දැඩි සත්කාර ඒකකයක් නෑනේ. ඒ නිසා වහාම මේ රෝගියා දැඩි සත්කාර ඒකකයක් සහිත රෝහලකට යවන්නට වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්යමණ්ඩලය වෙහෙසවෙලා තියෙනවා. ”

මිනුවන්ගොඩ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජයන්ත අභයරත්න සඳහන් කළේ ඒ අනුව ඔවුන් නෙවිල් ප්‍රනාන්දු රෝහල, හෝමාගම රෝහල, රාගම ශික්ෂණ රෝහල, මහ මෝදර රෝහල ඇතුළු රෝහල් ගණනාවකට මේ රෝගියාට ඇතුළු කිරීමට ඉඩ සොයා බලා ඇති බවයි. ඒ වනවිට බස්නාහිර පළාතේ සියලු රෝහල්වල කොරෝනා වාට්ටු සහ දැඩි සත්කාර ඒකක පිරී පැවතුණෙන් නීලිකා වෙනුවෙන් දැඩි සත්කාර ඒකක ඇඳක් සොයා ගැනීම පහසුවී තිබුණේ නැත. අවසානයේ සවස හතර පසුවෙද්දී මිනුවන්ගොඩ රෝහල් කාර්ය මණ්ඩලයට රාගම රෝහලෙන් සතුටුදායක පිළිතුරක් ලැබී තිබුණි. ඒ රෝගියාව රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට භාරගත හැකි බවටයි.

නීලිකා චමින්දට ඇමතුමක් ගත්තාය.

” මාව රාගමට මාරු කරනවලු. තව ටිකකින් එක්ක යනවා කිව්වා..”

නීලිකා වෙනදා සේ වැඩි දේවල් කතා කරමින් සිටියේ නැත. චමින්ද පුරුදු ලෙසට ඇයටත් කුස සිටිනා දරු පැටියාටත් දෙවියන් වහන්සේගෙන් ආශිර්වාදය ඉල්ලා සිටියේ කළහැකි අන් කිසිවක් නැති නිසාය.

” මිනුවන්ගොඩ රෝහලෙන් මේ අම්මා එවන්න අහනකොට මේ රෝහලේ කොරෝනා අධි සත්කාර ඒකකයෙ ඇඳන් හයේම රෝගීන් හිටියා. රාගම ශික්ෂණ රෝහලේ මේ අධි සත්කාර ඒකකය හදලා තියෙන්නේ ලංකාවේ ඕනම ප්‍රදේශයකින් රෝගින් භාර ගන්න පුළුවන් විදිහට හින්දා ලංකාවේ හැම පැත්තෙන්ම ඉල්ලීම් එනවා. ඒත් මේ දවස්වල මේ රෝහලේම දවසකට රෝගීන් හැට හැත්තෑවක් වාර්තා වෙනකොට ඒ හැමෝම රෝහලකට එන්නෙත් පරක්කුවෙලා වීම තුළත් එක්ක මේ රෝහලේම ලෙඩුන්ගෙන් ඒ ඇඳන් පිරෙනවා. මේ පාර රෝගයේ මුල් දවස්වල රෝග ලක්ෂණ පෙන්වන්නෙ ඉතාම අඩුවෙන්. දවස් හතක් අටක් යනකොට තමයි රෝග ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නෙ. එතකොට ඉතාම චූටි කාලයක් අමාරුවෙලා දින දහයක් වගේ යනකොට නිව්මෝනියා තත්ත්වය උග්‍ර වෙනවා. ඒ නිසා රෝහලට එන එවැනි රෝගීන්ගෙන් සියයට පනහකටවත් අධි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ඕන තත්ත්වයක් තියෙන්නේ.

එදා මේ ඇඳන්වල අවුරුදු හතළිස් දෙකක, සහ පනහත් හැටත් අතරෙ රෝගීන් තමයි ප්‍රතිකාර ලබමින් හිටියෙ. මේ අම්මා ගැන මිනුවන්ගොඩ රෝහලෙන් පණිවිඩය ආවේ අපේ කන්සල්ටන් ඩොක්ටර් ආර්. හෙට්ටිආරච්චි මහතාට. ඒ ඉතා හදිස්සි ඉල්ලීමක් විදිහට. ඇය උදේ වරුවෙ හොඳින් ඉඳලා, දවල්වෙද්දී රුධිරගත ඔක්සිජන් මට්ටම අඩුවෙනවා කියලයි දන්වලා තිබුණෙ. ඔක්සිජන් මට්ටම අනූ දෙකට වඩා අඩුවෙනවා කියන්නෙ අධි අවදානම් කියන එකයි. එවැනි ලෙඩෙකුට මෙතෙන්ට එන්න ගතවෙන පැයත් ඇති අසාධ්‍යවෙන්න”

ඒ නිසා ඒ ඉල්ලීමට ඍණාත්මක උත්තරයක් දෙන්නට රාගම කොරෝනා අධි සත්කාර ඒකකයේ වෛද්‍ය නිලධාරි තරිඳු සී. පෙරේරා ඇතුළු වෛද්‍ය කණ්ඩායමට පුළුවන් වූයේ නැත. විශේෂයෙන් නීලිකා දරුවකු ලැබෙන්නට සිටි නිසා එතැන ජීවිත දෙකක් බේරා ගැනීමේ වගකීමක් ද විය. ඒ නිසාම ඔවුන් අධි සත්කාර ඒකකයේ සිටි හයදෙනාගෙන් සාමාන්‍යයෙන් යථාතත්ත්වයට පත්වෙමින් සිටි රෝගියෙකු වාට්ටුවකට මාරුකොට ඇඳක් සූදානම් කර රෝගියා එනතුරු බලා සිටියේය. නීලිකා මිනුවන්ගොඩ සිට රාගම ගෙන ආවේ සවස හයයි හතළිස් පහට පමණය.

” රෝගියා රෝහල තුළට ආවම අපිට ඒ තොරතුර එනවා. ඒ නිසා අපි ආරක්ෂිත ඇඳුම් ඇඳගෙන ඇයට අවශ්‍ය වුණොත් දෙන්න මැෂින් උපාංග ලෑස්ති කරගෙන ආවගමන් රෝගියා ඇඳට ගන්න සූදානමින් කොරිඩෝරය දිහා බලා හිටියා. එයා ට්‍රොලියෙ තියාගෙන ගේන හැටි අපිට කොරිඩෝරේ ඈත ඉඳලම පෙනුණා.

ඒ අම්මා කෑගැහමින් ආවේ. මට හුස්ම ගන්න බෑ…, මට හුස්ම ගන්න අමාරුයි.. මාව බේරලා දෙන්න… මාව ඉක්මනට හොඳ කරන්න කියලා තමයි කෑ ගැහුවේ. හරියට දැඟළුවා, ට්‍රොලියෙන් වැටෙන්න යන තරමට. ඇය හරියට බයවෙලා හිටියෙ. අපි ඒ අම්මව ඇඳට අරන් ඊසීජී වගේ ඒවට සම්බන්ධ කරන අතරෙත් මාව බේරගන්න කියලා කෑගගහම මල්ලෙන් රතුපාට මොබයිල් ෆෝන් එකක් ඇදලා ගත්තා.

අපි සාමාන්‍යයෙන් දැඩි සත්කාර ඒකකවලදි ටෙලිෆෝන් පාවිච්චි කරන්න දෙන්නෙ නෑ. ඒත් මේ අවස්ථාවට බාධවක් කරන්න අපිට විදිහක් තිබුණෙ නෑ. මං හිටියෙ ඒ ළඟ. ඒ හින්ද මං හොඳටම දැක්කා ඇය පළමුවෙනියටම තිබුණු නොම්මරේ ඩයල් කළා. ඒ ඩයලින් එකෙන් කෝල් එක යනවත් මං බලාගෙනයි. ඒ එක්කම අනෙක් පැත්තෙන් කෝල් එකට කතා කරන කොටම ටයිමින් ස්ටාට් වුණා. ඒත් ඒක ඇහුණද දන්නෙත් නෑ. මේ පැත්තෙන් වචනයක්වත් කතාකරන්න කලින් ඒ අම්මාගෙ හෘදයේ ක්‍රියාකාරිත්වය නැවතුණා.”

ඒ සංවේදී අවස්ථාව දරාගෙනම එහි සිටි වෛද්‍ය කාර්ය මණ්ඩලය ඇයව සම්බාහනය කරමින් ඒ මොහොතේ කළයුතු සියලු ක්‍රමවේදයන් විනාඩි හතළිස් පහක් පමණ තිස්සේ කරමින් ඇගේ නැවතුණ හෘදය යළි පණගන්වන්නට වෙහෙසුණත් ඒ හදවත යළි පණගැහුණේ නැත. ඒ පියවුණු ඇස් යළි ඇරුණේද නැත. එතෙක් වේදනාවෙන් බයෙන් කෑ ගසමින් දඟලමින් සිටි ඈ සාන්ත නින්දකට වැටී සිටියාය. රෝහලකදී අනන්ත රෝගීන් මියයනු දැක ඇති වෛද්‍ය හා රෝහල් කාර්ය මණ්ඩලයට ඒ මරණය අතිශය සංවේදී වුණේය. ඒ හැඟීම්බර අවස්ථාව වෛද්‍ය තරිඳු සී. පෙරේරා ඔහුගේ මුහුණු පොතේ සටහන් කර තිබුණේ මෙසේය.

” ඇය Bed එකට දමා ගත වූයේ තප්පර කිහිපයකි. කිසිවක් කිරීමටවත් ඉඩ නොතබා ඇය arrest විය. මාගේ යාළුවා තප්පර ගණනකදී PPE එකට බැස ඇය ළඟට දිව ගියේය. PPE එක සම්පූර්ණයෙන් ඇන්දාද කියලවත් සිහි නැත. සියලුම හෙදියන් සමග ඔහු resuscitation පටන් ගන්නා අතර තුර මා Regista, SR, Med Team සියල්ලන් කැඳවිය. විනාඩි 45 පමණ අප දන්න සියලු ශිල්ප කළෙමු. නමුත් ජීවිතේ අනිත්‍ය බවත්, covid pneumoniyaවේ දරුණු බවත් පසක් කරමින් ජීවිත දෙකක් එකට නැති විය. සියලු දෙනා විනාඩි කිහිපයක් නිරුත්තර විය. හෙදියන්ගේ විඩාබර මුහුණු දිගේ කඳුළු කැට වැටුණි.

මෙය තවත් එක අවසනාවන්ත එක සිදුවීමක් පමණි.

අපගේ ධාරිතාවන් ඉක්මවා යමින් ඇත. සියලුම සෞඛ්‍ය සේවකයන් හෙම්බත්ව ඇත. ඔවුන් , ඔවුන්ගේ උපරිමය කරමින් ඇත.

මහජනතාව තමන්ගේ ආරක්ෂාව ගැන මීට වඩා සිතිය යුතුව ඇත. ”

එසේම වෛද්‍ය තරිඳු කියන්නේ මේ මොහොතේ ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම කොරෝනා හැදුණු ගැබිනි මවුවරුන් වෙනුවෙන් ඒකකයක් තිබිය යුතු බවයි. ඔහු කනස්සලු වන්නේ එවන් අවදානම් අම්මා කෙනකු වූ නීලිකා සාමාන්‍ය රෝහලක සාමාන්‍ය කොරෝනා රෝගීන් සමග ප්‍රතිකාර ලබන්නට සිදුවීම ගැනය. රාගමට පැමිණි වෙලාවට තවත් විනාඩි පහළොවකටවත් කලින් ඇයට අධි සත්කාර ඇඳක් ලැබුණේ නම් ඇගේ මරණය වළක්වා ගතහැකිව තිබූ බව ඔහුගේ විශ්වාසයයි.

රාගම රෝහලට මාරු වූ බිරිඳ සුව වී ගෙදර එනතුරු බලා සිටි චමින්දට එදාම අසන්නට ලැබුණේ ජීවිතයේ අසන්නට වූ අවාසනාවන්තම කතාවයි. ඔහුට කතාකොට පැයක් දෙකක් තුනක් තුළ ඈ ඔහු දමා යන්නට ගොසිනි. විශ්වාස කරන්නට අමාරු වුවත් කොරෝනා ඒ තරමට දරුණු බව ඔහු දන්නේය.

” මට එයාගේ අවසානෙවත් දකින්න බැරිවුණා. මම ගෙදර නිරෝධායනය වෙමින් හිටිය නිසා. ”

ඒ ඔවුන් පතාගෙන ආ හැටි වන්නට ඇත. පමාවී හමුවී ඉතාම ඉක්මනින් ඈ යන්නට ගියේ නූපන් දරුපැටියාත් ගෙන ඔහුට මතකයන් පමණක් ඉතුරු කරමිනි. ඔවුන්ට දෙව් මව් සුව පතමින් ඔහු සුවවී පැමිණ ඒ මතකයන් හා කල් ගෙවනු ඇත.

බියංකා නානායක්කාර

Exit mobile version