අරුම පුදුම

ශ්‍රී ලංකාවේ ප්‍රථම සමරූපී වනාන්තරය

සමරූපී වනාන්තර හෙවත් Analogue Forest ක්‍රමය මෙරටට හරිත උදය පදනම විසින් හඳුන්වා දී තිබේ. ඒ අනුව එම සංවිධානය විසින් බණ්ඩාරවෙළ මිරහවත්ත අක්කර 05ක පමණ ප්‍රදේශයක නිර්මාණය කර තිබෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම සමරූපී වනාන්තරය නිරීක්ෂණය කිරීම සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (20) එහි ගියේය.

සමරූපී වනාන්තර හෙවත් Analogue Forest ක්‍රමය යටතේ සිදු කෙරෙන්නේ ලෝකයේ එක් එක් දේශගුණික තත්ත්වයෙන් පවතින වනාන්තරයකට සමරූපීව කෘත්‍රිමව වනාන්තරයක් ප්‍රතිනිර්මාණය කිරීමයි.

පැළ සිටුවීමේ දී පවා ඒ ඒ ශාඛවලට ආවේනික තත්ත්වයන් යටතේ පැළ රෝපණය කෙරෙන අතර ස්වාභාවික වනාන්තරයක් නිර්මාණය වන අයුරින් මෙම සමරූපී වනාන්තර සකස් කෙරේ.

හරිත උදය සංවිධානය විසින් සමරූපී වනාන්තර නිර්මාණය සඳහා පරිසර අමාත්‍යාංශයට දායකත්වය ලබා දීමට එකගත්වය පළ කර තිබේ. ඒ අනුව තංගල්ල ප්‍රදේශයේ අක්කර 20ක භූමි ප්‍රමාණයක් Analogue Forest ක්‍රමය යටතේ ලබන වසරේ දී සකස් කිරීමට නියමිතය.

දෙස් විදෙස් සංචාරකයින්ට මෙම වනාන්තරවලට පැමිණ ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය පිළිබඳ දැනුමක් ලබා දෙන අයුරින් මෙම වනාන්තර සකස් කිරීමට පියවර ගත යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය. විශේෂයෙන් අපේ රටේ පාසැල් දරුවන්ට වෘක්ෂලතා, වනසතුන්, කෘමීන් සම්බන්ධව පුළුල් දැනුමක් ලබා දීමටත් පරිසරය කෙරෙහි ආදරය දක්වන ඉදිරි පරම්පරාවක් නිර්මාණය කිරීමත් මෙවැනි සමරූපි වනාන්තර තාක්ෂණය ඔස්සේ සිදු කළ හැකි බව කීය.

පරිසර අමාත්‍යාංශය සමග එක්ව සකස් කෙරෙන පළමු සමරූපී වනාන්තරය ලෙස තංගල්ල කඩොලාන පද්ධතිය සකස් කිරීමට ඉක්මනින් පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා එම සංවිධානයෙන් ඉල්ලිමක් කළේය.

Leave a Reply

Your email address will not be published.

Back to top button