දේශීය පුවත්
Trending

පාරෙ අසරණ වුණ බලු යාලුවන්ට නොමිලේ බෙහෙත් කරන දොස්තර හිතහොඳ

ඩොක්ට තරිදු කියන්නෙ මොනවගේ කෙනෙක්ද ?මගේ නම තරිඳු විජේකෝන්. මම ඉන්නෙ කුරුණෑගල. මේ වෙනකොට ලංකාවෙ ඉන්න හීලෑ අලින්ට ප්‍රතිකාර කරන්නෙ මම තමයි. මම ඉගෙනගත්තෙ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ. මම දැනට සතුන්ගෙ රෝග සම්බන්ධයෙන් ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක්. ඒ වගේම සතුන්ගෙ ප්‍රතිකාර සම්බන්ධයෙන් ඉහළ කැපවීමක් තියෙන කෙනෙක්.

ලෙඩ වුණ සතුන්ට ප්‍රතිකාර කරන්න ඕනි කියලා හිතුනෙ කොයි කාලෙ ඉදලද ?

මුලින්ම මට මේක හිතුනෙ ගෙදර ඉන්න සතෙක් ලෙඩ වෙලා එයාට ප්‍රතිකාර කරන්න ක්‍රමයක් තිබ්බෙ නැති වෙලාවක. ඒ නිසා දවසක සතුන්ට බෙහෙත් කරන්න ඕනි, ඒ සම්බන්ධයෙන් ඉගෙනගන්න ඕනි කියලා අදහසක් තිබුණා.
අලි සහ අනිත් සත්තුන්ට ප්‍රතිකාර කරන්න අවශ්‍ය අඩිතාලම සකස් වුනේ මගේ කැම්පස් එකේ හිටපු දංගොල්ල කියන ප්‍රොෆෙසර් හරහා. එයාගෙ වගකීමත් එක්ක තමා මම මේ පැත්තට අවධානය යොමු කලේ.

මේ වෙනකොට ප්‍රතිකාර කරන සතුන් ගැන විස්තර මොනවද?

මම දැනට අලි, අශ්වයො, බල්ලො සහ පූසො කියන සත්තුන්ට මූලික වශයෙන් ප්‍රතිකාර කරනවා.

ඒ සතුන් අතරෙ වැඩියෙන්ම ප්‍රතිකාර කරන සතුන් කාණ්ඩ ඉන්නවද ?

අලි, බල්ලො සහ පූසොන්ට තමයි වැඩියෙන්ම ප්‍රතිකාර කරන්නෙ. මම ලංකාවෙ ඉන්න ගොඩක් හීලෑ අලින්ට ප්‍රතිකාර කරනවා. ඒ වගේ ඕවරෝල් සත්තුන්ට ප්‍රතිකාර කරන අය අඩුයි. දළදා මාලිගාවෙ ඉන්න අලි පවා මම තමයි බලන්නෙ.

කාටහරි ඕනි වුණොත් තමන්ගෙ සුරතලාට ප්‍රතිකාර කරන්න, ඩොක්ටව කොහොමද සම්බන්ධ කරගන්නෙ.

මගේ හොස්ප්ට්ල් එක තියෙනවා කුරුණෑගල බෞද්ධාලෝක පාරෙ කීල්ස් එක ඉස්සරහ wet care animal hospital කියලා. අලි ඇත්තු සම්බන්ධයෙන් නම් ගොඩක් දෙනෙක් මාව දන්න නිසා එයාලා කෙලින්ම මාව සම්බන්ධ කරගන්නවා. පොඩි සුරතල් සතුන්ට බෙහෙත් කරගන්න ඕනි නම් ඕනිම කෙනෙක්ට මගේ හොස්ප්ට්ල් එකට එන්න පුළුවන්. ගොඩක් දුර පළාත් වලින් පවා මේ හොස්ප්ට්ල් එකට එනවා එයාලගෙ සුරතල් සතුන්ට ප්‍රතිකාර කරගන්න.

මොනවගේ පහසුකම්ද ඩොක්ට ලගට එන සුරතලුන්ට ඩොක්ටගෙ ආයතනයෙන් ලැබෙන්නෙ ?

මේ ආයතනයෙන් සතුන්ට එන්නත්කරණය කරන එක, සැත්කම් කරන එක විතරක් නෙවෙයි විශේෂ පහසුකම් අවශ්‍ය වෙනත් රෝහල් වලින් එවන සතුන්ටත් මෙතනින් ප්‍රතිකාර කරනවා. ඒ වගේම එයාලට අවශ්‍ය ස්කෑන් වගේ දේවල් , නතර කරගෙන කරන ප්‍රතිකාර කරන පහසුකම් තියෙනවා. ඒ වගේම මොනිටරින් යුනිට්ස් තියෙනවා. ඒ කියන්නෙ අමාරු සත්තුන්ට ප්‍රතිකාර කරලා වාට්ටු වලට දාන්නෙ නැතුව එයාලව දිගටම මොනිටර් කරනවා. ඒ වගේම දුරකථන හරහා අවශ්‍ය උපදෙස් ලබාදීමත් අපේ රෝහල හරහා සිදුවෙනවා.

මේ ආයතනයට සුරතලාව යොමු කිරීමෙන් සුරතලාගෙ අයිතිකාරයට මොනවගේ වාසියක්ද ලැබෙන්නෙ?

මේ රෝහලේ ඉන්න කාර්‍යමණ්ඩලය එක්ක හරිම සුහදශීලීව ගනුදෙනු කරන්න පුළුවන්. සුරතලාට ප්‍රතිකාර කරන්න අවශ්‍ය ඔක්කොම අංගසම්පූර්ණ උපකරණ ටික තියෙනවා. මම ඇතුළු තවත් වෛද්‍යවරුන් ඉන්නවා. ඒ වගේම ප්‍රොෆෙසර්ගෙ සම්බන්ධයකුත් මේ රෝහලට තියෙන නිසා අපිට එයත් ගොඩක් උදව් වෙනවා.

කාටහරි යන්න එන්න පහසුකම් නැත්නම් ලගපාත කිලෝමීටර් 10ක් 15ක් අතර දුරින් අපේ තියෙන ටැක්සි එකෙන් එයාලට අවශ්‍ය ප්‍රවාහන සේවාව සපයනවා. ඇම්බියුලන්ස් එකක් විදිහටත් ඒ වාහනය පාවිච්චි වෙනවා. හදිසි අවස්ථාවකදි අපි ගිහින් සතාව අරගෙන එනවා. ඔපරේෂන් එකකින් පස්සෙ බලාගන්න බැරි සතුන්ව බලාගන්න යුනිට් එකකුත් අපි ලඟ තියෙනවා.

ලංකාවෙ සතුන්ට ප්‍රතිකාර කරන වෛද්‍යමධ්‍යස්ථාන ගැන මොකක්ද හිතන්නෙ ?

ලංකාවෙ සත්තුන්ට ප්‍රතිකාර කරන සියලුම ආයතන හොදයි. ඒ හැම ආයතනයකින්ම සතුන්ට සේවයක් වෙන්නෙ. සමහර වෙලාවට නතර කරගෙන කරන්න ඕනි ප්‍රතිකාර සම්බන්ධයෙන්, ස්කෑන් සම්බන්ධයෙන්, ලේ බලාගන්න බැරි වෙනවා වගේ අත්‍යාවශ්‍ය බෙහෙත් ලබාගන්න බැරි වීම මත ගොඩක් වෛද්‍යවරුන් හිර වෙලා තියෙනවා. අපේ VET CARE Animal Hospital ආයතනයේ අංගසම්පූර්ණ ප්‍රතිකාර ක්‍රම තියෙන එක සතුන්ට ලොකු සහනයක් වෙලා තියෙනවා.

මේ වෙනකොට සුව කරලා තියෙන අමතක නොවන සුරතල් සතුන් කිහිපයක් ගැන මතක් කරමුද ?

ඇත්තටම මෙතනට එන ගොඩක් සතුන් බරපතල තත්ත්වෙන් එන්නෙ. එකපාරක් ආවා ඇමරිකන් බුලි වර්ගයෙ බල්ලෙක්. එයාව ගෙදර දරුවෙක් වගේ හදපු කෙනෙක්. එයාගෙ මොලයට විශබීජයක් ගිහිල්ලා අසාධ්‍ය මට්ටමේ හිටියෙ. එයාව දවස් තුන හතරෙන් නැගිටලා ගෙදට යන්න පුළුවන් වෙන්න සුව කරා. පහුගිය දවස් වල එක එක ප්‍රශ්න නිසා බලු පැටව් මැරෙන්න ගත්තා. මොනිටරින් සිස්ටම් එක නිසා ඒ සත්තු බේරගත්තා. කාටවත් මැරෙන්න දුන්නෙ නෑ.

ලංකාවෙ සුරතල් සතුන් ගැන එයාලගෙ අයිතිකාරයන්ට මොනවගේ උපදෙසක්ද ඩොක්ටට දෙන්න තියෙන්නෙ.

පලවෙනිම දේ සතෙක්ට මානසික වර්ධනයයි ශාරීරික වර්ධනයයි කියලා වර්ධන අවස්ථා දෙකක් තියෙනවා. එයාලව හිරකරන්නෙ නැතුව මානසික සතුටින් ඉන්න සලස්වන්න ඕනි. එක එක්කෙනාගෙ ආර්ථික මට්ටමත් එක්ක ලෝකෙ තියන හොදම විටමින් වර්ග සුරතලාට දෙන්න බෑනෙ. හරියට මේ දේවල් වර්ධනය කරලා එයාලව බලාගන්න පුළුවන්. හොදම විටමින්, ඩෝග් ෆුඩ්ස් දෙන්න අවශ්‍යම නෑ අපේ සමාන්‍ය දේවල් කරලා සතෙක් හොද මට්ටමකට ගන්න පුළුවන්. ආදරෙන් රැකබලාගත්තා නම් එයා සුරක්ෂිතව අපිත් එක්ක ඉන්නවා.

මිනිස්සුන්ට ප්‍රතිකාර කිරීම තෝර ගන්නෙ නැතුව සතුන්ට ප්‍රතිකාර කරන්න හිතුවෙ ඇයි.

ඇත්තටම මම සතුන්ට ප්‍රතිකාර කරන්න තමයි ගොඩක් කැමති. එයාලට මිනිස්සුන්ට වගේ කතා කරලා ලෙඩේ කියන්න හැකියාවක් නෑ. ඒක අපි ඕනි තේරුම් ගන්න. සතෙක්ට අසනීපයක් වුන ගමන් එයා කන එක නවත්තනවා. ඊටපස්සෙ පැත්තක් අල්ලගෙන දඟලන්නෙ කරන්නෙ නැතුව ඔහේ ඉන්නවා. ඉතින් එහෙම කෙනෙක්ව අපේ ලඟට ගෙනාවම එයාව අල්ලලා, එයාගෙ විදුරුමස් වල තියෙන පාට, උණ, පෙනහළුවලින් හුස්ම ගන්න විදිහෙන් අපි රෝග විනිශ්චයක් කරනවා මෙයාගෙ ලෙඩේ මෙන්න මේකයි කියලා. මෙතන රිදෙනවා , ඔලුව රිදෙනවා කියලා කටින් කියන්න බැරි ලෙඩ වුණ සත්තුන්ව සුව කරන එක තමයි අපේ අභියෝගය.

අනාගතයේ දි සතුන් වෙනුවෙන් මොනවගේ දේවල්ද කරන්න බලාපොරොත්තු වෙන්නෙ?

මේක මම අදටත් කරන දෙයක්. පාරෙ ඉන්න ඕනිම සතෙක් හැප්පිලා හරි, අතක් පයක් කැඩිලා හරි අසනීපයක් හැදිලා හරි ආවොත් එයාගෙ සියලුම ප්‍රතිකාර මම නොමිලේ කරනවා. එතකොට පාරෙ ඉන්න අසරණ බල්ලෙක්ව හදාගන්න කවුරුහරි කෙනෙක් කැමති නම් සහ එයාට ඒ බල්ලා වෙනුවෙන් ප්‍රතිකාර කරන්න, බෙහෙත් විදින්න වත්කමක් හැකියාවක් නැත්නම් මම ඒ දේවලුත් නොමිලේම කරලා දෙනවා. එතකොට එයාට වියදමකුත් නෑ අසරණ සතෙක්ටත් ඉන්න තැනක් හම්බවෙනවා.

Best VET CARE Animal Hospital In Kurunegala
Best VET CARE Animal Hospital In Kurunegala

Back to top button