ගොසිප් පුවත්

බසයේ රැගෙන යමින් තිබූ ක්ලේමෝ බෝම්බය ගැන ඔත්තුව ලැබුණු හැටි

යුද හමුදාව රටේ අනෙකුත් කටයුතු සඳහා යොමුව සිටියද රටේ සහ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව තවදුරටත් දැඩි අවධානයෙන් පසුවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ක්ලේමෝ බෝම්බයක් බස් රථයක රැගෙනයමින් සිටි හිටපු LTTE සාමාජිකාවක හා ඇයගේ සැමියා පරන්තන්හිදී පසුගියදා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ගැන තොරතුරු අනාවරණය කරමින් යුද හමුදාපතිවරයා මේ බව පැවසීය.

AV Rase

අද (04) උදෑසන දෙරණ අරුණ වැඩසටහන සමග සම්බන්ධවෙමින් යුද හමුදාපතිවරයා සඳහන් කළේ මෙම කාන්තාවගේ ක්‍රියාව පිළිබඳ තොරතුරු අනාවරණය කරගත්තේ ද යුද හමුදා බුද්ධි අංශවල තොරතුරු මත බවය.

යාපනයේ සිට මහනුවර දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක යමින් සිටියදී ඔවුන් අත්අඩංගුවටගෙන තිබුණි. එම බෝම්බය ඔවුන් සතුව තිබූ බෑගයක සඟවා තිබී ඇත.

ඔවුන් තම දරුවා ද එම ගමනට රැගෙන ගොස් තිබුණේ අන් අයගේ අවධානය වෙනතකට යොමු කිරීමට බව හමුදා බුද්ධි අංශ විශ්වාස කරයි.

2014 අප්‍රේල් 14 වැනිදා නෙඩුන්කර්නි කැලෑවේදී හමුදා ප්‍රහාරයකින් මියගිය LTTEයේ ගෝපි යන අයගේ සොහොයුරු ස්විට්සර්ලන්තයේ සිට ප්‍රහාරයක් සැලසුම්කර ඇතැයි පුවත්පත් වාර්තා කර තිබුණි.

අත්අඩංගුවට ගත් යුවළ පදිංචිව සිට ඇත්තේ අය්යකච්චි, පැනික්කච්චිහි පිහිටි ගෝපි හෙවත් කජිපන් පොන්නයියා සෙල්වනායගම්ගේ මවගේ නිවස ඉදිරිපිට නිවසකය.

“මේක අලුතින් හදපු ක්ලේමෝ බෝම්බයක් නෙමෙයි. මේක පරණ ඒ කාලේ හදපු ක්ලේමෝ එකක්. ඒ කාන්තාව සුළු කාලයකට හෝ ත්‍රස්තවාදීන් සමග සම්බන්ධවෙලා කටයුතු කරපු කෙනෙක්. LTTE සංවිධානයට යුදමය අතින් කරගන්න බැරිවෙච්ච දේ මතවාදී වශයෙන් තවදුරටත් ඉදිරියට රැගෙන යෑමට කටයුතු කරන අය විදෙස් රටවලත් ශ්‍රී ලංකාවේත් ඉන්නවා. මේ රටේ ත්‍රස්තවාදයට ඝෘජුවම සම්බන්ධවෙලා හිටපු අය 12,000ක් පමණ අපි පුනුරුත්තාපනය කරලා සමාජගත කරනු ලැබුවා. මේ වගේ අය හෝ ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන අයට පිටරටවල ඉඳලා මුදල් එවලා මෙවැනි ක්‍රියාවන් සඳහා සම්බන්ධකර ගන්නවා. ඒ වගේ තත්ත්වයන් අපි දකිනවා. හමුදාව වෙන වෙන කටයුතු සඳහා අවදානය දෙමින් සිටින කාලවල තමයි මෙවැනි දේවල් කරන්න උත්සහ ගන්නේ. ඒ මොනවා කරත් මේ රටේ හමුදාව ඉතාමත් අවදානයෙන් ඉන්නෙ. යුද හමුදා බුද්ධි අංශය තමයි මේ සොයා ගැනීම කරනු ලැබුවේ. රටේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා පවතින ඕනෑම තත්ත්වයක් යටතේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ගතයුතු සියලුම ක්‍රියාමාර්ග ගනු ලබනවා.” යනුවෙන් ද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button