දේශීය පුවත්

මහ බැංකුවේ කටයුතු අඛණ්ඩව කරගෙන යෑමට කාර්ය සාධක බලකායක්

සේවකයෙකු කොවිඩ් නයින්ටීන් ආසාදනයට ලක් වුව ද මහ බැංකුවේ කටයුතු අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා හදිසි ක්‍රියාකාරී කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙන්නේ, මහ බැංකුවේ සේවකයෙකු කොවිඩ් නයින්ටීන් ආසාදනයට ලක්වීමත් සමග වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති බවය.

ඒ යටතේ මහ බැංකු මූලස්ථාන පරිශ්‍රය විෂබීජහරණය කර ආසාදිතයාගේ සමීපතමයින් පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමුකර තිබේ.

එම පරීක්ෂණ අනුව ආසාදිතයා හැර වෙනත් කිසිදු නිලධාරියෙකුට වෛරසය ආසාදනය වී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

කෙසේවෙතත් පූර්ව ආරක්ෂණ ක්‍රමවේදයක් ලෙස ඊයේ (20) දිනයේ සිට දින 14 ක කාලයක් මහ බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ සේවය කරමින් සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සියලුදෙනා නිවසේ සිට සේවා සැපයීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා අතර මහ බැංකුවේ අත්‍යාවශ්‍ය සේවා සියල්ල කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button