දේශීය පුවත්

අයවැය මගින් මුදල් වෙන් කළ උසස්පෙළ සිසුන්ගේ ටැබ් ආගිය අතක් නෑ

අයවැය මගින් උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට නොමිලේ ටැබ් පරිගණක ලබාදීමට මුදල් වෙන් කළ බවට සඳහන් කළද අදාළ පොරොන්දුව ඉටු නොකළ බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි. මේ නිසා වෙන්කළ මුදල් යොදාගෙන ගුරුවරුන්ට හා ශිෂ්‍යයන්ට ටැබ් පරිගණක ලබාදෙන ලෙසද එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටලින් මහතා සඳහන් කළේය. ගුරුවරුන්ට පර්ගණක මිලදී ගැනීමට බැංකු ණය ලබාදීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ප්‍රකාශකර තිබෙන බවත්, සංගමයක් ලෙස මෙයට විරෝධය දක්වන බවත් ඔහු පවසා සිටියේය.

පසුගිය ආණ්ඩුව රුපියල් 26,000ක මුදලකට එක් පරිගණකයක් ලබාදීම සඳහා මුදල් වෙන්කළ බව කී බවත්,එහෙත් එලෙස වෙන් කරන ලද මුදලට වූයේ කුමක්ද යන්න ගැටලු සහගත බවත් ඒ මහතා සඳහන් කළේය. එසේ නොමිලේ ලබාදීමට නියමිත පරිගණක ලබානොදී ගුරුවරුන්ට පරිගණක සඳහා ණය මුදල් ලබාදීමට අවධානය යොමු කිරීමෙන්ම වත්මන් ආණ්ඩුව අධ්‍යාපනය සම්බන්ධයෙන් දක්වන අඩු සැලකිල්ල දර්ශනය වන බවද හෙතෙම පවසා සිටියේය. කෝවිඩ්-19 වසංගත තත්ත්වය තුළ වසරකුත් මාස 03කට වැඩි කාලයක් පාසල් දරුවන්ට අධ්‍යාපනය අහිමි වී තිබියදී ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන්ගේ එකම විකල්පය වී ඇත්තේ මාර්ගගත අධ්‍යාපනය බවත් එහෙත් එමගින් 60%කට වැඩි දරුවන් පිරිසකට මුළුමනින්ම අධ්‍යාපනය අහිමිව තිබෙන බවත් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ.

එසේ තිබියදී මාර්ගගත අධ්‍යාපන පහසුකම් නොමැති ප්‍රදේශවල දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට වැඩපිළිවෙළක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පරිගණක හෝ ටැබ් පරිගණක 10කින් යුත් ප්‍රාදේශීය අධ්‍යාපන මධ්‍යස්ථාන සකස් කිරීම සඳහා පළාත් අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බවද ඔහු පවසා සිටියේය.

ඊ තක්සලාව ඔස්සේ 01 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය පවත්වාගෙන යන අතර,දිනකට ඊ තක්සලාවට සිසුන් දෙලක්ෂයක් සහභාගි වන බවට අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරන බවත් කී ඒ මහතා, එහෙත් 01 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන දරුවන් ලක්ෂ 43ක් පමණ පාසල් පද්ධතියේ සිටින බවද කියා සිටියේය. ඉන් ලක්ෂ 02ක් පමණක් ඊ තක්සලාව ඔස්සේ අධ්‍යාපනය ලබන බව පැවසීමෙන්ම එහි අසාර්ථකභාවයත්, දරුවන්ට අධ්‍යාපනය අහිමි වීමත් මනාව පැහැදිලි වන බවද ලේකම්වරයා සඳහන් කළේය.

Back to top button