දේශීය පුවත්

රට පුරා Q-shop ආරම්භ කිරීමට පියවර

රාජ්‍ය අංශයේ හා දේශීය නිෂ්පාදකයන්ගේ ගුණාත්මකභාවයෙන් ඉහළ භාණ්ඩ ඍජුවම පාරිභෝගිකයා වෙත නිකුත් කරමින් තරුණ ව්‍යවසායකයින් සඳහා වෙළෙඳපොල අවස්ථා නිර්මාණය කෙරෙන Q-shop සංකල්පය රට පුරා ව්‍යාප්ත කරමින් තරුණ ව්‍යවසායකයින් අතරට වඩාත් ක්‍රමවත්ව ගෙන යාමේ වැඩපිළිවෙල පිළිබද සාකච්ඡාවක් අද (05) දින තරුණ හා ක්‍රීඩා අමත්‍ය නාමල් රාජපක්ෂ හා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු එම අමාත්‍යාංශවල නිළධාරීන්ගේද සහභාගීත්වයෙන් වෙළද අමාත්‍යාංශයේදී පැවැත්වුණි.

එහිදී තරුණයන් හට නව ව්‍යාපාරයක් ලෙස Q-shop වෙළදසැල ආරම්භ කිරීමට අවශ්‍ය මූලික ප්‍රාග්ධනය සපයාගැනීමේ ක්‍රමවේදයන් මෙන්ම මූලික දැනුම ලබා දීම සදහා කුඩා කර්මාන්ත අංශයේ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබදව ද සාකච්ඡා කෙරුණු අතර, වෙළදසැල් ආකෘතිය නවීන කාලයට ගැලපෙන ලෙස නිර්මාණය කිරීම හා ඒ සදහා අවශ්‍ය ඉදිරි කටයුතු පිළිබදව ද වැඩි දුරටත් සාකච්ඡා විය.

රජයේ මැදිහත්වීමෙන් දේශීය නිෂ්පාදකයන්ගෙන්ම භාණ්ඩ මිලදී ගෙන අලෙවි කිරීම නිසා පාරිභෝගිකයා වෙත භාණ්ඩ ලබා දීමේදී වෙළදපොල වටිනාකමට වඩා අඩු අගයකට භාණ්ඩ ලබාදීමට හැකි වීම මෙම Q-shop වෙළද සැල්වල තවත් විශේෂත්වයක් වනවා. තමන්ගේ ප්‍රදේශයේ නගරයේ හෝ නිවස ආශ්‍රිත භූමියක මෙම Q-shop වෙළදසැල ආරම්භ කිරීමට හැකි අතර, මේ සදහා ඉදිරිපත් වන තරුණ ව්‍යවසායකයා හට මසකට රුපියල් හැටදහසක අවම ආදායමක් ලැබීමට හැකි වන පරිදි මෙම ව්‍යාපෘතිය සැළසුම් කර ඇත. තරුණ තරුණියන් හට ව්‍යවසාකයින් ලෙස දියුණු වීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන රජයේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published.

Back to top button