ගොසිප් පුවත්

සිව්හැවිරිදි දරුවාට පෙව් බියර්, කොකා කෝලා බවට හැරෙයි

වයස අවුරුදු හතර හමාරක දරුවෙකුට බියර් කෑන් එකක් පානය කරන්නට සලසා එය වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරන්නට ගිය පුද්ගලයෙකු මීට දින හයකට පමණ පෙර පොලිස් අත්අඩංගුවට පත්විය. පෑලියගොඩ, නුගේ පාර ප්‍රදේශයේ නිවසකදී මෙම සිදුවීම සිදුවිය.
පෑලියගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් සැකකරු පසුගිය (11) දින අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත නිදහස් කෙරිණි.
අදාළ දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ඉදිරිපත් කර එම දරුවාගේ මානසික තත්ත්වය පිළිබඳ වාර්තාව
කැඳවීමට තීරණය කර ඇති බවත් එම වාර්තාව ලැබීමෙන් පසුව අදාළ දරුවා කිසියම් අපයෝජනයකට ලක් වී තිබේ ද? යන්න පිළිබඳ තොරතුරු හෙළි කර ගත හැකි බවත් අධිකරණය හමුවේ දැනුම් දී තිබුණි.

මේ අතර සිද්ධියට සම්බන්ධ පුද්ගලයා හා දරුවා ගැන වැඩිදුර සොයා බැලීමේදී ඔවුන් අසල්වාසීන් බව හෙළිව ඇත. මෙම දරුවාගේ මවත් මිත්තණියත් දරුවා සමග වාසය කරන නිවසට යාබද නිවසේ මෙම පුද්ගලයා සහ එම පවුල වාසය කරන බව කියැවේ. දරුවාගේ පියා දරුවාට අවුරුදු එකේදී පවුල අතැර ගොස් තිබෙන නිසා දරුවා හදාවඩාගන්නේ මව තනිවමය. මව රැකියාවකට යන නිසා දරුවා දවස තිස්සේ ‘ඩේ කෙයාර් ‘ එකකට දමා තිබූ බව මව කියන්නීය.

මිත්තණියට නිතර කෝප ගති ඇති නිසා මිත්තණිය භාරයේ තැබීම නොකරන බවද ඇය කියා ඇත.
සෑම දිනකම ඩේ කෙයාර් එක නිමවී සවස 5.30 න් පමණ පසු දරුවා නිවසට එන බවත් අනතුරුව තමා සමග කාලය ගත කළ බවත් පවසන මව බොහෝ අවස්ථාවල අසල්වාසී නිවසේ උදවිය සමග දරුවා එකමුතු බවත් පෙන්නුම් කළ නිසා දරුවාට එහි යාමට ඒමට නිදහස දී තිබුණ බව කියන්නීය.

කෙසේ වෙතත් ලොක් ඩවුන් සමයේ ‘ඩේ කෙයාර්‘ වසා දමා ඇති නිසා දරුවා දවල් කාලයේත් වැඩිපුර අසල්වාසී නිවසේ කාලය ගත කර තිබේ.
මේ කියන බියර් පානය කරන සංසිද්ධිය සිදුව ඇත්තේ එලෙස එම නිවසේ කාලය ගතකරන අතරවාරයේය.
සිව් හැවිරිදි සිඟිත්තාට බියර් පෙවූ මෙම පුද්ගලයා ගැන සමාජ මාධ්‍ය තුළ විවේචන පැනනැගි පසුව පොලිසිය දක්වා සිද්ධිය වාර්තාවිය. එම 25 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට පත්වන්නේ ඉන් පසුය.

පෑලියගොඩ, නුගේ පාර ප්‍රදේශයේ නිවසක සිටියදී පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලදි.ශ්‍රී ලංකාවේ නීතිය අනුව 21 පහළ අයකුට මත්පැන් හෝ මත්ද්‍රව්‍ය අලෙවි කිරීම මෙන්ම ලබාදීම වරදක් වෙයි.
කෙසේ වෙතත් දරුවාට බියර් පෙවූ පුද්ගලයා දැන් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටිමින් පවසන්නේ වෙනස් කතාවකි.

ඔහු පවසන්නේ තමා දරුවාට පෙව්වේ කොකා කෝලා බවයි. හිස් බියර් කෑන් එකකට කොකා කෝලා පුරවා විනෝදයට පෙවූ බවයි. නමුත් මෙම පුද්ගලයා උසාවියේදී දරුවාට බියර් පෙවූ බව පිළිගෙන ඇත.
මේ ගැන දරුවාගේ මව මාධ්‍ය කැමරා ඉදිරියේ විමසීමේදී ඇයද දැන් කියන්නේ දරුවාට කොකා කෝලා පෙවූ කතාවකි.
කෙසේ වෙතත් පොලිසිය පැමිණ ප්‍රශ්න කරන අවස්ථාවල එකී පුද්ගලයා හෝ මව දරුවාට පොවා ඇත්තේ කොකා කෝලා බව නොකියති. ඔවුන් ඇතිවූ ලජ්ජාව සඟවාගන්නට මෙම කතාව දැන් වෙනස් කරන බව පෙනී යයි.

දරුවාගේ මුවින් ගඳක් වහනය නොවූ බවද මව කියා තිබේ. බොහෝ විට සැමියාද නැතිව හවුහරණක් නොමැතිව අසල්වාසී උදව්වෙන් දරුවා හදමින් සිටින මවට අසල්වාසීන් බේරාගැනීමේ උවමනාවෙන් මෙලෙස පිළිතුරු දෙනවා යයි පෙනෙන්නට තිබේ.

සිද්ධියට අදාළ පැමිණිල්ල ඔක්තෝම්බර් මස 11 වනදා කැඳවීමට ද මහෙස්ත්‍රාත්වරයා නියම කර තිබේ.

Video by – The life Traveler

Back to top button