තරු හුට පට

කෙල්ලෝ 5යි…කොල්ලෝ 2යි – ආදරය උතුරා යන පල්ලියගුරු පවුල..!

අපේ රටේ දැන්නම් පවුලක දරුවන් ගණන එක්කෙනෙකුට නැත්තන් දෙන්නෙකුට සිමා වෙලා. ඒත් ඉස්සර හැම පවුලකම දරුවෝ අට නවදෙනෙක් සිටියා. නමුත් ‘පුංචි පවුල රත්තරන්’ කතාව බොහෝ පවුල්වල දරුවන් ගණන එකට, දෙකට අඩු කළා. එහෙත් මහනුවර පල්ලියගුරුගේ යුවළ පුංචි පවුල රත්තරන් යන කතාව පිළිගන්නට සූදානම් වූනේ නැහැ. මේ ආදරණීය යුවල ඒ කතාව බොරු කළා. ඔවුන්ගේ පවුලේ දූ දරුවන් ගණන හත්දෙනෙක්.

ඉතින් මේ ඕක්රේ සමූහ ව්‍යාපාරයේ සභාපති සුජීව පල්ලියගුරුගේගේ බිරිඳ මිෂෙල් පල්ලියගුරුගේ ඒ ගැන පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් මෙන්න මේ විදිහටයි කියලා තිබුනේ.මට මුලින්ම සුජීව හමුවුනේ දෙදාහ අවුරුද්දේ දෙසැම්බර් තිස්එක් වෙනිදා මහනුවර තිලංකා හෝටලයෙදි. මෙහෙමයි. මමයි, මගේ අම්මයි, තාත්තයි, අයියයි දෙසැම්බර් තිස්එක් වෙනිදා රාත්‍රී ආහාරය ගන්න තිලංකා එකට ගියේ. සුජීවත් ඔහුගේ පවුලේ අයයි යාළුවොයි එක්ක එදා රාත්‍රී ආහාරය ගන්න එතනට ඇවිත් හිටියා. සුජීවගෙ අම්මයි තාත්තයි එක්ක එදා අපේ අම්මයි තාත්තයි කතා කළා. ඒ ගොල්ලො කලින් ඉඳලම දන්න අඳුනන හිතවතුන්. හැබැයි ඊට කලින් මට සුජීව කවදාවත් හමුවෙලා තිබුණෙ නැහැ.

එදා තමයි මුලින්ම දැක්කේ. අම්මලා, තාත්තලා කතා කරන අතරේ ඔහු මාත් එක්ක වචනයක් දෙකක් කතා කළා. ඒ ඇරෙන්න පළමුවෙනි දවසෙ වැඩිය කතා කළේ නැහැ. ඒ වෙද්දී වයස මට විසිතුනයි. සුජීවට විසිඅටයි. එදා හමුවීමෙන් පස්සේ ඉඳහිටලා අපි කතා කළා. අපේ මව්පියන් දන්න අඳුනන අය නිසා එහෙම කතා කරන එක ගැටළුවක් වුණේ නැහැ. අපේ මුල්ම හමුවීමෙන් මාස දෙකක් විතර යද්දි දෙන්නට දෙන්නා ගැන කැමැත්තක් ඇතිවෙලා තිබුණේ.

ඔය වෙනකොට සුජීවට විවාහ වෙන්න කෙනෙක් ඔහුගේ මව්පියන් හොයමින් ඉඳලා තියෙන්නේ. මනමාලියො කිහිපදෙනෙක් බලන්නත් ගිහින්. හැබැයි ඒ කවුරුවත් සුජීවගෙ හිතට අල්ලලා තිබුණෙ නැහැ. අපි දෙන්නගෙ මව්පියන් කාලයක් තිස්සෙ දන්න අඳුනන අය නිසා සුජීවත් මාත් අතරේ ප්‍රේම සම්බන්ධයක් ඇති වෙනවට ඔවුන් විරුද්ධත්වයක් දැක්වුවේ නැහැ. කලින් කිව්ව විදිහට අපි දෙන්නා මුලින්ම හමුවුණේ දෙදාහ අවුරුද්දේ දෙසැම්බර් තිස්එක් වෙනිදා. දෙදහස් එකේ මැයි තුන් වෙනිදා අපේ විවාහය ලියාපදිංචි කළා.

ඒ අවුරුද්දෙම සැප්තැම්බර් විසිහත් වෙනිදා අපේ විවාහ මංගලෝත්සවය ගත්තා. මුලින්ම හමුවුණු දවසෙන් පස්සෙ අවුරුද්දකටත් අඩු කාලයකදි අපි විවාහ වුණේ. මම සුජීවවත් සුජීව මාවත් තේරම් ගත්තේ වගේම දෙන්නට දෙන්නා අවබෝධ කරගත්තේ විවාහයෙන් පස්සෙ කිව්වොත් හරි. එහෙම ඉක්මන් විවාහයකට මගේ ලොකු ඕනෑකමක් තිබුණේ නැහැ. හැබැයි සුජීව හිටියෙ විවාහ විය යුතු වයසේ. සුජීවගෙ මව්පියන් තමයි විවාහය ඉක්මන් කළේ.

අනෙක් අතට සුජීව අඳුනගෙන ආශ්‍රය කරද්දි මට තේරුණා ඔහු බොහොම හොඳ ජීවත් වෙන්න පුළුවන් පුද්ගලයෙක් කියලා. මගේ අම්මයි තාත්තයි සුජීවගෙ පවුලේ අය බොහෝ කාලයක ඉඳන් දැනගෙන හිටි බව මම කලින් කිව්වා. අම්මයි තාත්තයිත් සුජීවට කැමති වුණු නිසා මට බයක් ඇති වුණේ නැහැ. දරුවො හත්දෙනෙක්ම හදනවා කියලා නම් අපි හිතුවේ නැහැ. හැබැයි සුජීව දරුවො ගොඩකට කැමැත්තෙන් හිටියේ. පළමුවෙනි දරුවා ලැබෙන්න ඉන්නකොට සුජීව කැමැත්තෙන් හිටියේ නම් පුතෙක්ට.

හැබැයි ලැබුණේ දුවෙක්. පුතෙක් බලාපොරොත්තුවෙන් හිටියත් දුව ලැබුණම සුජීව දුවට හරිම ආදරේ වුණා. ඊටපස්සෙ සුජීව කිව්වා දෙවැනියත් දුවෙක් වුණොත් හොඳයි කියලා. කිව්වා වගේම දෙවැනියත් දුවෙක් වුණා. ඒ විතරක් නෙමෙයි, තුන්වැනියා, හතරවැනියා, පස්වැනියා වෙනකන්ම දුවලා ලැබුණේ. හයවෙනියා පුතෙක් වුණහම සුජීව තව පුතෙක් හදමු කිව්වා. කිව්වා වගේම හත්වෙනියා පුතෙක් වුණා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

උපුටා ගැනීම : කොටුව පත්තරේ

Back to top button