දේශීය පුවත්

රට පුරා අලංකාර ලෙස නගර 100ක් එකවර සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ වෙයි

රට පුරා අලංකාර ලෙස නගර 100ක් එකවර සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන 27.07.2021 වන අද දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරිපිටිය නගරයෙන් ආරම්භ කෙරිණි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අරලිය ගහ මැදුරේ සිට Zoom තාක්ෂණය ඔස්සේ මෙහි සමාරම්භය සනිටුහන් කරන ලදී. එම අවස්ථාවට මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා සහභාගි වූහ.

එම අවස්ථාවේ දී මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිදුකළ කතාව.

මම ප්‍රථමයෙන් පස්වන විධායක ජනාධිපති වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ස්තූතිවන්ත වෙනවා අද දවසේ ආරාධනය පිළිගෙන මේ අවස්ථාවට පැමිණීම ගැන . පොල්පිතිගම බස්නැවතුම්පොළ විවෘත කිරීමටත් , නගර සීයක් සංවර්ධනය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද මේ උත්සවයට සහභාගී වීමත් , මෙම ජාතික උත්සවය අද ආරම්භ කරන්න කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරිපිටිය වැනි දුෂ්කර ප්‍රදේශයක් තෝරාගැනීම සම්බන්ධවත් මම ඔබතුමාට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.

විශේෂයෙන්ම මතක් කරනවා මේ රටට දැවැන්ත සේවකයෙක් ඔබතුමා ඉටුකළා කියලා. මේ රටේ පැවති යුද්ධය නිමා කෙරුවේ ඔබතුමා . මේ රට දැවැන්ත සංවර්ධනයක් කරා ගෙන ගිය නායකයෙක් විදිහට අපි ඔබතුමාව අමතක කරන්නේ නැහැ. අපේ කුරුණෑගල ජනතාවට අවස්ථාව ලැබුණා ඔබතුමාට ඡන්දයක් ලබා දීලා වැඩිම මනාප සංඛ්‍යාවකින් ජයග්‍රාහණය කිරීමේ ගෞරවය හිමිකරදෙන්න. මහ මැතිවරණයෙදි අපි කිව්වා මහින්ද රාජපක්ෂ මැතිතුමාව ඉහළින්ම ජයග්‍රාහණය කරවන්න ලංකාවේ තියන දිස්ත්‍රික්කය කුරුණෑගල දිස්ත්‍රික්කය බව. ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ දියුණුම දිස්ත්‍රික්කය බවට පරිවර්ථනය කරනවා කිව්වා. අද අපි ඒ සංවර්ධනයට අතතියල ඉවරයි.

සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම ජාතික පාසලක් නම් කරන වැඩපිළිවෙල පුද්ගලිකව හොයලා බලලා අනුමැතිය ලබා දුන්නා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවට හැටියට අපි ඒ ගැන සතුටු වෙනවා. අගමැතිතුමනි, ඔබතුමා අපිට කිව්ව විදියට බලයේ ඉන්න කොට කරන්න පුළුවන් සියලුම වැඩසටහන් ටික කරගන යන්න උපදෙස් ලබා දුන්නා. අපි සතුටු වෙනවා හිරිපිටිය විතරක් නෙවෙයි කොබෙයිගනේ, අබන්පොල, අලව්ව හෙට්ටිපොළ, පන්නල, පොල්ගහවෙල, බිංගිරිය, බමුණාකොටුව යන නගර නමයම මේ වැඩසටහන් තුළ ක්‍රියාත්මක වෙනව විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවේ සම්පූර්ණයෙන් නගර සීයක් නිර්මාණය වන වැඩපිළිවෙල අද ආරම්භ කලා . ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව එදා ඔබතුමා ආරක්ෂක ලේකම් බවට පත් කරා විතරක් නෙවෙයි, නගරවල දියුණුව ගෙනෙන්න එතුමාව එදා නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් බවට පත් කරලා එතුමාට එය භාර දීලා දැවැන්ත සංවර්ධනයක් මේ රට තුල කෙරුවා. අපි කොළඹ නිර්මාණය වෙන විදිය දැක්කා. අපි ඈත එපිට ගම්වලින් පැමිණි මන්ත්‍රීවරු හැටියට අපි ඒ සංවර්ධනය දැක්කා.

අපි බලාගෙන හිටියා අපේ දිස්ත්‍රික්කවලට, ගම්මානවලට මේ සංවර්ධනය කවදහරි එයි කියලා. 2015 ඔබතුමා පැරදුනේ නැත්නම් කොළඹ විතරක් නෙවෙයි මේ ගම්දනව් සියල්ල අද දියුණු වෙලා ඉවරයි. පසුගිය යහපාලන අවුරුදු පහේ දැවැන්ත ලෙස මේ රට ආපස්සට ගියා. අද අපි සතුටු වෙනවා එදා ආරක්ෂක ලේකම් අද ජනාධිපතිවරයා විදිහට මේ රටට කරන සංවර්ධනය ගැන. 2015ට පෙර අපිට ලැබුණු සහතිකය තමයි ආසියාවේ දියුණුම නගරය කොළඹ පරිවර්ථනය වෙනවා කියන පණිවිඩය. නමුත් ඒ සියලුම දේවල් විනාශ වෙලා කුණු ටිකවත් හරියාකාරව ඇදගන්න බැරිවුණු ගඳ ගහන රටක් තමයි අපිට නැවත භාර දුන්නේ. එදා හරියට රට පරිපාලනය කරගන්න බැරි වුණ ඒ අය අද අපට රට පාලනය කල යුතු ආකාරය ගැන උපදෙස් ලබා දෙනවා. අපි පැහැදිලිවම ජනතාවට පොරොන්දුවක් දුන්නා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටට ආරක්ෂාව දෙනවා වගේම මේ රටේ ආර්ථිකය හදනවා කියලා. එදත් යුද්ධයක් කරන ගමන් දියුණු ආර්ථිකයක් මේ රටට ලබා දුන්නා. චීනයට විතරයි දෙවනි වුණේ මේ රටේ ආර්ථික වර්ධන වේගය . එදා ඒ යහපාලන කාලයේ මුළු ආර්ථිකයම විනාශ කරපු උදවිය තමයි අද විපක්ෂව භාරව වැඩකටයුතු කරන්නේ. අද ඔවුන් උපදෙස් දෙනවා වගේම ඔවුන් අපේ ඇමතිවරුන්ට අභියෝග කරනවා. විවාද වලට එන්න කියනවා, අපි විවාද බාර ගන්නවා. යහපාලන ආණ්ඩුවේ හිටපු මුදල් ඇමතිවරයා ඡන්දයට කලින් මැතිවරණයෙන් අයින් උනා. ඔහු දන්නවා ඔහු ඡන්දයෙන් පරදිනවා ඔහුට දිනන්න බැහැ කියලා . නමුත් අද ඔහු අලුත් තරුණ කණ්ඩායමක් තියාගෙන අලුත් මතයක් ගොඩනගා ගෙන යනවා කියලා කියනවා .

ඔවුන් කරපු දේවල් මේ රටේ ජනතාවට අමතක වෙන්නේ නැහැ. මංගල සමරවීරලා බෞද්ධ ආගමට නිගා කරා කියලා ජනතාවට අමතක වෙන්නේ නැහැ. මේ රට බෞද්ධ රටක් නෙවෙයි කියලා කියපු මුදල් ඇමතිවරයෙක් හිටියෙ පසුගිය යහපාලන ආණ්ඩුවේ. ප්‍රේමදාසලාට එදා කොන්ද පණ තිබුණේ නැහැ ඔහු වැරදියි කියලා කියන්න. ඒ ඉතිහාසය ජනතාවට අමුතුවෙන් මතක් කරන්න ඕන නැහැ. ඒවා ජනතාවට මතකයි. නාලක ගොඩහේවා රාජ්‍ය ඇමතිතුමා කියපු විදියට මේ රට දියුණු කරන වැඩපිළිවෙලට අපි කවදාවක්වත් ආපස්සට ගෙනියන්නේ නැහැ. ලෝකයම අභියෝගයකට ලක් වෙලා තියෙන්නේ මේ කොවිඩ් අර්බුදය නිසා. කොවිඩ් පළමු රැල්ලත් හොදින් පාලනය කරපු රටක් අපේ රට. දෙවනි රැල්ලත් හොදටම පාලනය කරපු රටවල් දහය අතුරින් එක රටක් තමයි අපේ රට . සමහරු කොරෝනාවට පැකනිල් ගහන්න කියමින් අපහාස කරා. හැටනම ලක්ෂයකගේ ඡන්දයෙන් පත් වුණු ජනාධිපතිවරයාට අපහාස කරා. ඡන්දය දුන්න අයට අපහාස කරා. කොවිඩ් වසංගතයෙන් අද අපේ රට බේරගන්න හදනකොට විපක්ෂය ඔවුනගේ වෘත්තිය සමිති නායකයෝ ගෙනල්ලා උද්ඝෝෂණ කරලා , අපේ රටේ අහිංසක මිනිස්සුන්ට කොරෝනා බෝ කරන්න හදනවා. ඔවුන් කිව්වේ රට පාලනය කරන්න තේරුමක් නැහැ,

කොවිඩ් පාලනය ගැන තේරුමක් නැහැ කියලා. විපක්ෂය කියනවා මීට වැඩිය හොදට ඔවුන් බලයේ සිටියා නම් රට පාලනය කරනවා කියලා. ඔවුන්ගේ පාලන කාලයේ දත්ත අරන් බලපුවාම ඩෙංගුවලින්ම මැරිල තියෙනවා කොවිඩ්වලට වඩා. ගරු අගමැතිතුමනි, ඒක තමා යථාර්ථය. ඒ නිසා අපි ජනතාවට කියනවා අපි ගැන විශ්වාසය තියන්න කියලා. මේ අවස්ථාවේදී උද්ඝෝෂණ තියන එකට කණගාටු වෙනවා. මේ උද්ඝෝෂණ කියන්න සුදුසු වෙලාව නෙවෙයි. ඔවුන්ට උද්ඝෝෂණය කරන්න අයිතිය තියනවා. අපි උද්ඝෝෂණය කරමු කොවිඩ් වසංගතයෙන් බේරුනාට පසුව . ඔවුන් පන්සීයක් උද්ඝෝෂණයකට අරන් ආවොත් අපිට පන්දාහක් ගෙන්නන්න පුළුවන් හයිය අද ආණ්ඩුවට තියනවා. අපි ස්ටාලිංට ප්‍රේමදාසට කියන්නේ මේ රටේ ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා කියලා. මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ අර්බුදයෙන් කොහොමද ගැලවිලා ආර්ථිකය හදාගන්නේ කියලා. කොහොමද තමන්ගේ ජීවිකාව ගෙනියන්නේ කියලා. ව්‍යාපාරටික කොහොමද නැවත පටන් අරගෙන දියුණුවෙන්නෙ කියන බලාපොරොත්තුවෙන් ජනතාව ඉන්නේ. ඒ අහිංසක ජනතාව මරණ මංචකයකට ගෙනියන්න එපා කියලා අපි විපක්ෂයෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලනවා.

ගරු අගමැතිතුමනි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ගැන අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ගරු ජනාධිපතිතුමා පුද්ගලිකව දරන වැඩපිළිවෙලක් මේ ක්‍රියාත්මක වෙන්නේ. ජනතාව බාර දුන්න රට එතුමා හරියට ගොඩනැගුවා. ඔබතුමා සහෝදරයා හැටියට එතුමන්ව ජනාධිපති බවට පත් කරන්න කිව්වා. මේ රටේ ජනතාව එතුමව ජනාධිපති කෙරුවා. එතුමන් දිහා මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා. එතුමත් මේ රටේ ආර්ථිකය සහ රටේ සංවර්ධනය දියුණු කරනවා. කොළඹ නගරය දියුණු උනා වගේ හිනිපිටිය අනුරාධපුර පොළොන්නරුව වගේ නගර දියුණු වෙනව බලන්න මේ රටේ ජනතාව ආසාවෙන් ඉන්නේ. කොවිඩ් නිසා සල්ලි නැහැ කියන්නේ නැතිව මේ හැම වැඩපිළිවෙලක්ම සංවර්ධනය කරන්න දැවැන්ත මුදලක් වෙන් කරලා තියෙනවා. ඇමතිවරුන්ට මේ මුදල් භාර කරලා තියෙන්නේ මේ රට ඉක්මණින් සංවර්ධනය කරා රැගෙන යන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ඔබතුමාටත් අගමැතිතුමාටත් හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

Back to top button