ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ඇමතිගෙන් සැර ප්‍රකාශයක්

ශ්‍රී ලංකා 20යි 20 නායක දසුන් ශානකගේ වීසා ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වාර්තාවක් කැඳවීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.වීසා ලබා දීමේ දී ප්‍රමාද වී ඇත්තේ අමාත්‍යාංශය පැත්තෙන් ද එසේත් නොමැති නම් ක්‍රිකට් පාලක මණ්ඩලය පැත්තෙන් ද යන්න සොයා බැලිය යුතුව ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදි පැවසීය.මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා,

“මම අමාත්‍යාංශ ලේකම්තුමාට උපදෙස් දුන්නා වාර්තාවක් කැඳවන්න කියන එක. කෙසේවෙතත් මෙවැනි සිදුවීම් අනුමත කරන්න බෑ. ඉදිරියේ දී මෙවැනි දේ සිදුනොවන ආකාරයේ ක්‍රියාමාර්ගයක් අපි ගන්නවා. අපි හැමදාම පුරුදුවෙලා තියෙන්නේ ඇඟිල්ල දික්කරන්න. ඒක නෙමෙයි මේ වෙලාවේ කරන්න ඕනේ. වැරදිච්ච තැන් හොයලා ඒක නිවැරදි කරන්න. මටත් ඕනේ නම් අමාත්‍යවරයා විදියට ක්‍රිකට් පාලක මණ්ඩලයට ඇඟිල්ල දික්කරලා, බැනලා පැත්තකට වෙලා ඉන්න පුළුවන්. හැබැයි ඉතින් ක්‍රිකට් පාලක මණ්ඩලය තෝරන්නේ නාමල් රාජපක්ෂ නෙමෙයි. ක්‍රීඩා සමාජ. ඒ අය තෝරාපත් කරන අය වගකීමකින් තමන්ගේ කණ්ඩායම තෝරා පත්කර ගන්න ඕනේ. ඒ එක්කම මම ඉල්ලීමක් කරනවා ක්‍රීඩා සමාජවලින් මේ නිලවරණවලට යනකොට අපි ජාතික සැලැස්මක් හදලා තියෙනවා. ඒක දේශපාලන වශයෙන්වත් ක්‍රීඩා සමාජ වශයෙන්වත් පුද්ගලයෝ පදනම් කරගෙන නෙමෙයි අපි හදලා තියෙන්නේ. අන්න ඒ කර්තවය කරන්න පුළුවන් පිරිසක් මට තෝරලා පත්කරලා දෙන්න. එහෙම නොවුනොත් මට වෙනවා විකල්ප ක්‍රියාමාර්ගවලින් මගේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න.“

 

Exit mobile version