පාලකයන්ගේ පෞද්ගලික හිතවත්කම් වලට වෛද්‍ය පීඨ වරම් – AAA සහිත සුදුස්සන් ඉවතට

AAA වැනි ඉහල ප්‍රතිඵල හිමි සිසුන්ට පවා වෛද්‍ය පීඨ වරම් අහිමි වේ.
පාලකයන්ගේ පෞද්ගලික හිතවතුන්ගේ දරුවන් වෛද්‍ය පීඨයට

2019 අ.පො.ස. උසස් පෙල විභාගයේ විෂය නිර්දේශ දෙකක් යටතේ පැවැත්වූ අතර එහි කඩඉම් ලකුණු මීට දින කීපයකට පෙර නිකුත් විය. විෂය නිර්දේශ දෙකක් යටතේ විභාගය පැවැත්වූ හේතුවෙන් කඩඉම් ලකුණු නිකුත් වූයේ Z අගයන් 2ක් පාදක කර ගනිමිනි. මෙහිදී මහනුවර, කොලඹ, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල විෂයන් තුනට  A සාමාර්ථ ලබාගත් එනම් AAA ලබාගත් සිසුන් පවා වෛද්‍ය පීඨ වරම් නොලැබීම නිසා බලවත් අසාධාරණයක්ට ලක් වී සිටී. AAA ලබාගත් සිසුන් මෙන්ම එම සිසුන්ගේ Z අගයට වඩා ඉහල Z අගයක් ලබාගත් ඉහල ප්‍රතිඵල හිමි සිසුන්ට පවා වෛද්‍ය පීඨ වරම් අහිමි වී යාම ඉතාමත් කණගාටු දායක කරුණකි.

මේ පැන නැගී ඇති අසාධාරණ ඛේදනීය තත්වය පිලිබඳව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව බොහෝ වාරයක් දැනුවත් කලද Z ලකුණු සංසන්දනය කරමින් එය පැහැර හැරීමට වෙර දරන බව පෙනී ගොස් ඇත. පහත සූත්‍රයෙන් දැක්වෙන්නේ පැරණි නිර්දේශයට හා නව නිර්දේශයට වෙන වෙනම ලබාදුන් Z ලකුණු ගණනයට භාවිතා කල සූත්‍රයයි.

මෙම සුත‍්‍රයට අනුව මෙවර Z ලකුණු ලබාදුන්නේ නව නිර්දේශ සිසුන්ට එක Z අගයක් හා පැරණි නිර්දේශ සිසුන්ට එක් Z අගයක් ලෙසයි. එවිට පැරණි නිර්දේශ සිසුන්ගේ ඉහල ප‍්‍රතිපල විශාල ප්‍රමාණයකින් පවතින නිසා මධ්‍යනය වැඩිවීමෙන් Z ලකුණ නිරායාසයෙන්ම අඩුවේ. නව නිර්දේශ සිසුන්ගේ මධ්‍යනය අඩු නිසා Z ලකුණ නිරායාසයෙන්ම වැඩිවේ. දෙපාර්ශවයේම සම්මත අපගමන අගයන් සංඛ්‍යාලේඛන දත්ත වලට අනුව ආසන්නව සමාන අගයන් ගනී. එබැවින් මෙම තත්වය යටතේ දෙපාර්ශවයේ Z ලකුණ සංසන්දනය කල නොහැක.

උසස් පෙල විෂය සදහා ජීව විද්‍යාව විෂය හැදෑරීම කොපමණ අසීරු දැයි අමුතුවෙන් කිවයුතු නැත. උසස් පෙල විෂය සදහා ජීව විද්‍යාව විෂය හැදෑරීමට පැමිණෙන බොහෝ දරුවන්ගේ ඒකායන අභිප්‍රාය වෛද්‍යවරයෙකු වීමයි. ඒ සදහා ඔවුන් මෙන්ම, ඔවුන්ගේ මාපියන්, ගුරුවරුන් නොමද පරිශ්‍රමයක් දරයි. මෙලෙස වෙහෙසකර අභියෝගයක් සර්ථකව ජයගනිමින් උසස් ප්‍රතිඵල ලබාගත් මේ විශිෂ්ටයන්ට ඔවුන්ගේ සිහිනය මගහැරී ගොස් ඇත. ඒ ඔවුන්ගේ වරදින් නොවේ.

අතිගරු ජනාධිපතිතුමන්ගේ ඉතා විශිෂ්ට සංකල්පයකට අනුව වෛද්‍ය පීඨ ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාව ඉහල දැමුවද, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මෙවර කඩඉම් ලකුණු නිකුත් කර ඇති ආකරයට  AAA සහ ඊට වැඩි z අගයන් සහිත විශිෂ්ට ප්‍රතිපල ලබාගත් සිසුන්ට නව හා පැරණි විෂය නිර්දේශ දෙකෙන්ම වෛද්‍ය පීඨ වරම් අහිමි වී ඇත.

මෙවර කඩඉම් ලකුණු නිකුත් කිරීමේදී බොහෝ අක්‍රමිකතා සිදුවී ඇති බවට මේ වන විට තොරතුරු ලැබී ඇත. මින් පෙර වසර වල මහනුවර, ගාල්ල වැනි දිස්ත්‍රික්ක වල  AAA හිමි සිසුවෙකුට වෛද්‍ය පීඨ වරම් අහිමි වී නැත. මෙම වසරේ වෛද්‍ය පීඨ වලට බදවා ගන්නා සිසුන් ප්‍රමාණය විශාල ප්‍රමාණයකින් වැඩි කර තිබියදීත්, මෙවැනි AAA හිමි සිසුන් හා එම සිසුන්ට වඩා ඉහල z අගයක් සහිත ඉහල ප්‍රතිඵල හිමි සිසුන්ට වෛද්‍ය පීඨ වරම් අහිමි වීම විස්මයට කරුණකි. එම සිසුන්ට මෙවන් ඉහල ප්‍රතිඵල ලබා තිබියදීත් පශු වෛද්‍ය විද්‍යාව වැනි පාඨමාලා සදහා තේරී පත්වී ඇත. ජීව විද්‍යා අංශයේ ලබාගත හැකි උපරිම ප්‍රතිඵලය ලබාගත් සිසුන්ට වත් වෛද්‍ය පීඨ වරම් හිමි නොවී, පශු වෛද්‍ය වැනි පාඨමාලා සදහා තේරී පත්වීම සැබැවින්ම කණගාටුවට කරුණකි. මෙවැනි ඉහල ප්‍රතිඵල හිමි සිසුන් හට වෛද්‍ය පීඨ ප්‍රවේශයට ඉඩ ප්‍රස්තා සලසා නොදීමෙන් රටේ අනාගත සෞඛ්‍ය ක්ෂේත්‍රයට සිදුවන හානිය අතිමහත්ය. දැනට දිවයින පුරාම පැරණි නිර්දේශයේ AAA හා ඊට ඉහල z අගයන් ලබාගෙන ඉහල ප්‍රතිඵල හිමි වෛද්‍ය පීඨ වරම් අහිමි වී සිටින සිසුන් ප්‍රමාණයට වෛද්‍ය පීඨ ප්‍රවේශය ලබා දීම කලහැකි දෙයකි.

මන්ද යත්, 2006 වසරේදී එනම් ශ්‍රී ලංකාව කුරිරු යුද්ධයේ උච්චතම අවස්ථාවන්ට මුහුණ දීමෙන් පැවතිය දී මෙවැනි අර්බුදකාරී තත්වයකට පිලියම් ලෙස රජරට වෛද්‍ය පීඨය විවෘත කර ඇත්තේ පෙර සූදානමක්ද නොමැතිවය. ඒ සදහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ එවකට ජනපති වත්මන් අග්‍රමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා බව ඉතා කෘතවේදීව හා ගෞරවයෙන් සිහිපත් කරමු. තවද 2011 වසරේ මෙලෙස ද්විත්ව නිර්දේශ ගැටලුවට මුහුණ දුන් සිසුන් පිරිසකටද රජයේ මැදිහත් වීමෙන් වෛද්‍ය පීඨ ප්‍රවේශ පත්‍ර සංඛාව වැඩි කර ඇත.

මෙම ගැටලුවට මුහුණ පා ඇති සිසුන් ඉතා විශාල මානසික පීඩනයකට ලක් වී සිටී. ඔවුන්ට ඉතිරිව ඇති බලාපොරොත්තුව නම් ඔවුන්ගේ මෙම ගැටලුව අවබෝධ කරගත හැකි ජනාධිපතිවරයෙකු, අගමැතිවරයෙකු ප්‍රමුඛ රජයක් පාලන බලය හෙබවීමයි. මෙම සිසුන්ගේ ඉල්ලීම සර්ව සාධාරණ ඉල්ලීමක් වන අතර එය ඉටුකල හැකි ඉල්ලීමකි. එය ඔවුන්ගේ හිමිකමක්ද වේ.

එසේම මහනුවර, කොලඹ, ගාල්ල යන ප්‍රධාන දිස්ත්‍රික්ක වල නිර්දේශ දෙකේ වෛද්‍ය පීඨ සදහා බදවා ගන්නා සිසුන්ගේ ප්‍රතිශත වල දෝෂ සහිත බවද පෙනී යයි. එම නිසා ඉහත කී දිස්ත්‍රික්ක වල පැරණි නිර්දේශයේ AAA හා ඊට ඉහල z අගයන් ලබාගත් ඉහල ප්‍රතිඵල හිමි වෛද්‍ය පීඨ වරම් හිමි විය යුතු සිසුන් ප්‍රමාණයකට වෛද්‍ය පීඨ වරම් අහිමි වී ඒ වෙනුවට වෙනත් පාඨමාලා ලැබීම හේතුවෙන් වෙනත් කුමන හෝ පාඨමාලාවක් සදහා විශ්ව විද්‍යාල වරම් අපේක්ෂාවෙන් සිටි සිසුන් හට කිසිදු විශ්ව විද්‍යාල පාඨමාලාවක් සදහා තේරී පත්වීමේ අවස්ථාව අහිමි වී ඇත. සෑම වසරකම පාහේ වැඩි වෛද්‍ය පීඨ වරම් සංඛ්‍යාවක් ලබා වෛද්‍ය පීඨයට ඇතුලත් වන්නේ දෙවන වර හා තෙවන වර විභාගයට මුහුණ දුන් සිසුන් බව සංඛ්‍යාලේඛන දත්ත පරීක්ෂා කල විට පැහැදිලි වේ. එහෙත් මහනුවර, කොලඹ, ගාල්ල යන ප්‍රධාන දිස්ත්‍රික්ක වල මෙවර කඩඉම් ලකුණු නිකුත් කිරීමේදී සිදුවී ඇති අක්‍රමිකතා හේතුවෙන් දෙවන වර හා තෙවන වර එනම් පැරණි නිර්දේශය යටතේ විභාගයට මුහුණ දී AAA හා ඊට ඉහල z අගයන් ලබාගෙත් ඉහල ප්‍රතිඵල හිමි සිසුන් විශාල ප්‍රමාණයකට වෛද්‍ය පීඨ ප්‍රවේශ වරම් අහිමි වී ඇත.

අතිගරු ජනාධිපතිතුමනි, ගරු අගමැතිතුමනි, උසස් අධ්‍යාපන අමාත්‍යතුමනි පෙර ද අර්බුදකාරී තත්වයන්ට මුහුණ දුන් සිසුන් වෙනුවෙන් නොබියව හා සාධාරණව කටයුතු කල ඔබතුමන්ලාගේ මැදිහත් වීමෙන් මෙම AAA හා ඊට ඉහල z අගයන් ලබාගෙන ඉහල ප්‍රතිඵල හිමි වෛද්‍ය පීඨ වරම් අහිමි වී සිටින සිසුන් හට වෛද්‍ය පීඨ ප්‍රවේශය සදහා ඉඩ ප්‍රස්තාව ලබා දී ඔවුන් හට සාධාරණයක් ඉටු කර දෙතැයි අපි අපේක්ෂා කරන්නෙමු.

Exit mobile version