දේශීය පුවත්
මාතලේ නගරාධිපති ධූරයෙන් ඉවත් කෙරේ

මාතලේ මහනගර සභාවේ නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ඩල්ජිත් අලුවිහාරේ මහතා සිය ධූරයෙන් ඉවත් කර තිබේ.
ඒ බව ගැසට් නිවේදනයක් මඟින් ඊයේ (02) නිකුත් කර තිබුණි.

ඩල්ජිත් අලුවිහාරේ මහතාට එරෙහිව ඉදිරිපත් ව තිබු චෝදනා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ වාර්තාව විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය විසින් පසුගිය 24දා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා වෙත භාර දී තිබුණි.
ඒ අනුව අදාළ වාර්තාවේ ඇතුළත් කරුණු මත පදනම්ව මාතලේ මහනගර සභාවේ නගරාධිපතිවරයා සිය ධූරයේ කාර්යයන් හා කර්තව්‍යයන් ඉටු කිරීමේදී මහනගර සභා ආඥාපනතේ (252 අධිකාරිය) 277(I)(අ), (ඇ), (ඈ) සහ (ඉ) වගන්තිවල සඳහන් වැරදි සිදුකර ඇති බවට සාක්ෂි පවතින බැවින්, මහනගර සභා ආඥා පනත යටතේ ධූරයෙන් මෙලෙස ඉවත් කිරීමට කටයුතු කර ඇති බව ගැසට් නිවේදනය මඟින් දන්වා තිබේ.