ක්‍රීඩා පුවත්

LPL සති දෙකකින් කල් දැමීමට තීරණය කරයි

එළැඹෙන අගෝස්තු මාසයේදී පැවැත්වීමට සැළසුම් කර ඇති ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සති දෙකකින් කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇති බව වාර්තා වනවා.

ඒ අනුව, කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් තොටුපලවල් මෙතෙක් විවෘත කර නොතිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

කෙසේ නමුත් අගෝස්තු මස 8 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලිය එම දිනයේදී ආරම්භ කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබුණද ජාත්‍යන්තර ගුවන් තොටුපලවල් විවෘත නොවීමත් සංචරණ තහනම සම්බන්ධයෙන් රජයේ තීරණය ප්‍රකාශයට පත්කිරීම පමා වීමත් යන කරුණු අනුව මෙම තරගාවලියේ ඉදිරිය තීරණය වන බව ද දැනගන්නට ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උසස් නිලධාරියකු පැවැසුවේ “ගුවන් තොටුපලවල් විවෘත කිරීමේ ප්‍රමාද වන පසුබිමක අගෝස්තු මස 8 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සති දෙකක පමණ කාලයකින් කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළා. ඒ අනුව මෙම තරගාවලිය අගෝස්තු මස 21 වැනිදා සිට සැප්තැම්බර් මස 11 වැනිදා දක්වා පැවැත්වීමට අපි සැළසුම් කර තිබෙනවා” යනුවෙනි.

තවද මෙම තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයන් සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් ඔවුනගේ කළමණාකරුවන් සමඟින් සාකච්ඡා කටයුතු පවත්වා අවසන් බවද සඳහන් කළ එම නිලධාරියා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවැසීය. “මෙම තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයන් සහභාගි කරවා ගැනීම වෙනුවෙන් ඔවුන්ගේ කළමණාකරුවන් සමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විටත් සාකච්ඡා පවත්වා අවසන්. එමෙන්ම ක්‍රීඩකයන් එල්.පී.එල්. තරගාවලිය සඳහා සහභාගි කරවීමට අවශ්‍ය අනුමැතිය ලබා දෙන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙනුතේ ලිඛිතව ඉල්ලා සිටීමට අපි කටයුතු කරලා තියෙනවා. ඒ අනුව විදෙස් ලීග් තරගාවලි සඳහා සහභාගි වීමේ කැමැත්තක් දක්වන ඕනෑම ක්‍රීඩකයකුට මෙම එල්.පී.එල්. තරගාවලියට සහභාගි වීමෙ අවස්ථාව තිබෙන බව අප විශ්වාස කරනවා. එමෙන්ම අපගේ කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වයිරස ව්‍යාප්තිය අති විශිෂ්ට අයුරින් පාලනය කර තිබීම හේතුවෙනුත් දිගු කාලයකට පසුව පවත්වන තරගාවලියක් ලෙසින් මෙම එල්.පී.එල්. තරගාවලියට සහභාගි වීමට විදෙස් ක්‍රීඩකයින් වැඩි කැමැත්තක් දක්වනු ඇති බවත් අපට විශ්වාසයි.”

කෙසේ වෙතත් කණ්ඩායම් 5ක සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම එල්.පී.එල්. විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම්වල හිමිකාරිත්වය සම්බන්ධයෙන් වන ටෙන්ඩර් නිකුත් කිරීමද ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.

එසේම ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ආකෘතියට සමානව ක්‍රීඩක වෙන්දේසියකින් කණ්ඩායම් සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමට නියමිත වීමද විශේෂත්වයකි.

එමෙන්ම මෙහි තරග කොන්දේසියක් ලෙසින් එක් කණ්ඩායමක් සඳහා යොදාගත හැකි වන්නේ විදෙස් ක්‍රීඩකයන් 6 දෙනෙකු පමණකි.

තවද ‘රවුන්-රොබින්’ ක්‍රමයට පැවැත්වීමට සැළසුම් කර ඇති මෙම තරගාවලියේ අවසන් පූර්ව තරඟත් අවසාන මහා තරගයත් සම්බන්ධයෙන් ඉදිරියේදී වැඩිදුර තොරතුරු නිවේදනය කිරීමට බලාපොරෝත්තු වන බවද පැවැසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button