දේශීය පුවත්

විභාග ත‍්‍රිත්වයෙන්ම ගෞරව සම්මාන ලද 95 වියැති ආච්චි අම්මා – ලීලා ධර්මරත්න නොතාරිස් හාමිනේ…!

ජීවිතේ සැදෑ සමයේදීත් අධ්‍යාපනය අත් නොහළ ඇය ත‍්‍රිපිටක ධර්මය හා පාලි භාෂා උපාධිය සම්බන්ධයෙන් වන ප‍්‍රාචීන, මධ්‍යම සහ අවසන් පරීක්ෂණ ත‍්‍රිත්වයටම එකවර මුහුණ දී ගෞරව සම්මාන සහිතව සමත් වීමට හැකියාව ලබා ගත්තාය. මේ වන විට ඇය පසුවූයේ 95 වන වියේ. ඉතින් මේ වගේ වයෝවෘද්ධ සමයක හිඳගෙනත් මෙවන් අභියෝගයකට මුහුණ දී සාර්ථකව ජයගත් ලීලාවතී ඇස්ලින් ධර්මරත්න මාතාව සමඟින් කතා කරන්න අප අදහස් කළා.

බෙහෙවින් සතුටුදායක මොහොතක්. කවුරුත් ඇය පිළිබඳව කතා කරන නිමේෂයක්. දරු මුනුබුරන්ගේ ආදරය මැද ගෙවෙන ජීවන ගමනක්.

විභාගයට හිත ගියෙ කොහොමද ?

අපේ ජීවිත වලට එක එක විදියෙ හැලහැප්පීම්වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ අනුව ගිය අවුරුද්දෙ මැයි මාසෙ පස්වෙනිදා මාව වැටිලා උකුළු ඇටේ කැඩුණා. ඒ වෙලාවෙ ඔපරේෂන් එකක් කරන්න අවශ්‍ය වුණත් මගෙ වයසත් එක්ක ඔපරේෂන් එක කරන්න බෑ කියලා තමයි වෛද්‍යවරුන් නිර්දේශ කළේ. මොකද ඔපරේෂන් එක සාර්ථක වීමේ හැකියාව තිබුණෙ 50% ක් පමණයි. මගෙ එක දුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙ. කොහොම හරි එයාලා ඒ අවදානම අරගෙන මගෙ ඔපරේෂන් එක කරන්න තීරණය කළා. ඒ අනුව මට සෑහෙන කාලයක් එක තැන ඉන්න සිදුවුණා. අන්න ඒ වෙලාවෙ එක තැන ඉන්න කොට මට හිතුණා, මේ තමයි මට මගෙ අධ්‍යාපන කටයුතු කරන්න හොඳම වෙලාව කියලා. ඒ අනුව විභාගයට වාඩි වුණා. ගෞරව සම්මාන සහිතව විභාගය සමත් වෙනවා.

අසනීප තත්ත්වය සුවයි ද?

දැන් මගෙ කටයුතු මටම කර ගන්න පුළුවන්. උදේ හවස ව්‍යායාම කරන්න වෛද්‍ය උපදෙස් ලැබිලා තියෙනවා. ඒ අනුව මං නොකඩවා ඒ ව්‍යායාම උදේ හවස කරනවා. මම දැන් ඉන්නෙ මහගෙදර නෙවෙයි, අසනීප තත්ත්වය එක්ක දුවලගෙ ගෙදර. මගෙ වැඩ කරන්න වෙනම කෙනෙක් දුව ළඟින් තියලා තියෙනවා.ඒත් මගෙ වැඩ මටම කර ගන්න පුළුවන්කම දැන් තියෙනවා. ඉතින් මට පුළුවන් කම තියෙද්දිත් ඇයි මම තවත් කෙනෙකුට කරදරයක් වෙන්නෙ. මගෙ රෙදි හෝදාගන්න, නා ගන්න වගේ එදිනෙදා කටයුතු තවමත් මම තනිවම කරගන්නවා. ඒ විතරක් නෙවෙයි මැහුම් ගෙතුම් වැඩ වගේ එදිනෙදා ගෙදර දොර කටයුතු මගෙ අතින් තමයි කෙරෙන්නෙ. ඇත්තටම මට ඒ දේවල් කරගන්න පුළුවන් නම් ඇයි මම කාටවත් බරක් වෙන්නෙ?

ඉස්සරහටත් වැඩි දුර ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවද?

කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය අවසන් කරන්න අපේක්ෂාවෙන් ඉන්නවා. මං හිතනවා, මට එය සාර්ථකව අවසන් කරන්න පුළුවන් වෙයි.

ඔබේ ජීවිතේ පටන් ගැන්ම සිහිපත් කරන්න කැමැතියි ද?

මම ඉපදුනේ 1928 දි. මම මූලික අධ්‍යාපනය ලබන්නෙ හොරණ මිල්ලෑවෙ පොඩි ඉස්කෝලයකින්. 5 පන්තියෙන් පස්සෙ හොරණම තිබුණු වෙනත් පාසලකට ඇතුළු වෙනවා. ඒ ඉස්කෝලෙ දි ඉංග‍්‍රීසි සිංහල භාෂා දෙකම ඉගෙන ගත්තා. ඒ දවස්වල ඉස්කෝලවල තිබුණු ලොකුම විභාගය එස්. එස්. සී. විභාගය ඉංග‍්‍රීසි සහ සිංහල කියන භාෂා දෙකෙන්ම සමත්වුණා. ඒ එක්කම මට ඉංග‍්‍රීසි ගුරු පත්වීමක් ලැබෙනවා. ඒ වේයන්ගොඩ රුක්ගහවිල ඉස්කෝලෙට. එතකොට මට වයස අවුරුදු 18 යි. හැබැයි මං ඉගෙන ගන්න කාලෙ ගුරුවරු මට කියනවා, මගෙ අත් අකුරු නොතාරිස් කෙනෙකුගෙ වගේ ලස්සනයි කියලා. මම ඒ කාලෙ නොතාරිස් වෘත්තිය ගැන දැනගෙන හිටියෙ නැහැ. ඒත් මගෙ ගුරුවරු කියපු නොතාරිස් කතාවත් එක්ක නොතාරිස් කෙනෙක් වෙන හීනය මගෙ හිතේ තිබුණා.

ඉතින් ඔබ නොතාරිස් වෘත්තිය තෝරාගන්නවා?

1956 දී නොතාරිස් විභාගය සමත් වෙනවා. ඒ අනුව නොතාරිස් වරුන් දහ දෙනෙකුගෙ පුරප්පාඩුවක් තිබිලා ඒ අයව බඳවගන්න විභාගයක් පැවැත්වුණා. ඒ විභාගයට දහස් ගාණක් ඇවිත් හිටියා. ඒ ඔක්කොම විදුහල්පතිවරු වගේ ඉහළ තානාන්තර හොබවපු අය. මං තමයි එතැන හිටපු පොඩිම කෙනා. එතැන හිටපු අය හිනාවෙවී කිව්වා අත්දැකීමක් ගන්න මේ විභාගයට ආව එක හොඳයි කියලා. ඒත් ප‍්‍රතිඵල ආවම වැඩිම ලකුණු තිබුණෙ මට. ඒ අනුව ගුරුකම අත හැරලා නොතාරිස් තනතුර බාර ගන්නවා. පළමු පත්වීම බද්දේගමට.

ජීවිතේ වෙනස් වෙන්න ගන්නෙ එතැනින් …..

1961 දි නොතාරිස් සම්මේලනය පැවැත්වුණා. එහෙදි තමයි මගෙ මහත්තයව මු ගැහෙන්නෙ. එයත් නොතාරිස් වරයෙක්. අපි 1962 දි විවාහ වෙලා නාවලපිටියෙ පදිංචියට එනවා. මහත්තයා ගම්පොළ නොතාරිස් විදියටත් මම නාවලපිටියෙ නොතාරිස් විදියටත් වැඩ කරනවා.

අනපේක්ෂිත සිදුවීමක්…..

1970 දි මහත්තයා මරනයට පත් වෙනවා. ඒ වෙලාවෙ මං හිටියෙ නීති විද්‍යාලයෙ අධ්‍යාපනය ලබමින්. ඉන් පස්සෙ මං සියලූ‍ම ඉගෙනීම් කටයුතු අත් හැරලා, නොතාරිස් වෘත්තිය කරගෙන පවුලේ බර කරට ගන්නවා. අපට හිටියෙ දුවලම හතර දෙනෙක්. ඒ වන විටත් බොහොම ළාබාල වයසෙ පසුවුණේ. ඒ අයව උස් මහත් කරගෙන එයාලව යහ මඟට ගැනීම මා වෙත පැවරිලා තිබුණු ලොකුම වගකීම බවට පත්වුණා.

ආදරේ වගේම සැර පරුෂයි…….

මගෙ දුවලට ඕනෙම දෙයක් මාත් එක්ක කතා කරන්න පුළුවන් කම තිබුණා. ඒ වුණත් මග වෘත්තියත් එක්ක රාජකාරි ගොඩක් පැවරිලා තිබුණා. අපේ ගෙදරත් රාජකාරි සඳහා එන අයට කාර්යාලයක් තිබුණා. ඉතින් ඒ එන යන අය ඉස්සරහ මගෙ දරුවන්ව බොහොම තදට හික්මවන්න මට සිද්ධ වුණා. ඒ කටයුතු වලට බාධා නොවෙන විදියට එයාලගෙ හැසිරීම පවත්වාගෙන යන්නට ඕනෙ කියන එක මං එයාලට තදින්ම පවසා සිටියා. ඒ අනුව ශබ්ද නගා කතා කිරීම්, කෙළි සෙල්ලම් කිරීම් බාහිර අය ඉදිරියේ තහනම්. ඒ අයව ගොඩක් විනයානුකූලව හදා වඩා ගන්න මට ඕනෙ වුණා.

ඒ වුණත් මං එයාලට තාත්තා නැති අඩුව කිසිම වෙලාවක දැනෙන්න දුන්නෙ නෑ. විවේකී වෙලාවට ඒ අයව එක්කගෙන සොබාදහමට සමීප තැන්වලට ගියා. ගංඟා, ඇළ, දොළ, වනාන්තර, වගේම ඓතිහාසික ස්ථාන පෙන්වන්න ඒ අය එක්කගෙන ගියා. ගගෙදරින් බත් උයාගෙන ගිහින් අතරමගදි බත් මුල් ලෙහාගෙන කාලා ජීවිතේ වින්දනීය බව ලබා දෙන්න මං උත්සාහ කළා. මට මතක හැටියට මගෙ දරුවන්ට කවදාවත් ඒ අයට තාත්තගෙ අඩුව දැනුණු බවක් පෙනුණෙ නැහැ. මට පුළුවන් උපරිමයෙන් මං ඒ අයට ආදරේ රැකවරණය වගේම ජීවිතේ ඉහළට යන පාර පිළිබඳව කියා දුන්නා. අද මට සතුටු වෙන්න පුළුවන් තැනක ඒ හතර දෙනාම ඉන්නවා. මේ වෙලාවෙ මං තවත් දෙයක් කියන්නම ඕනෙ. රැකවරණය අවශ්‍ය තවත් දියණියකට මං මවක් වුණා. ඇයත් අද මගෙ දියණිවරුන් වගේම ස්ථාවර ජීවිතයක් ගත කරනවා. ඒ ගැනත් ලොකු සතුටක් මට දැනෙනවා.

දරු මුනුබුරන්ගේ ආදරේ මැද…

මගෙ දියණිවරු හතරයි. ඒ අයගෙ දරු මුනුබුරෝ අට දෙනෙක් ඉන්නවා. ඒ අයගෙ දරුවන්ගෙන් උරුම වුණු මී මුනුබුරෝ පස් දෙනෙක්ව දකින්න මට වාසනාව ලැබිලා තියෙනවා. ඉතින් මං අද ගොඩක් සතුටෙන් තමයි ඉන්නෙ.

සංසාර ප‍්‍රාර්ථනා …..

අපි කුසල් කරනවා, හොඳ දේ කරනවා. ඒ දේවල් අපි යන තැනකට අරගෙන යන බව අපි විශ්වාස කරනවා. ඒ අනුව මම පුනරුප්පත්තිය විශ්වාස කරනවා. අධ්‍යාත්මික දේ වගේම අධ්‍යාපනය ඊළඟ භවයට අපත් සමඟින් ගමන් කරාවි කියන විශ්වාසය මා තුළ තියෙනවා. අද මේ ඉගෙන ගන්න පාලි හා අභිධර්ම කරුණු මා සමඟින් ඊළඟ භවයට ගමන් කරන්නට හොඳටම ඉඩ තියෙන බව මට තරයේ දැනෙනවා.

ආව ගමන…..

ගොඩක් සතුටුයි. කිසිම පසුතැවිල්ලක් නැහැ. අර දේ කරන්න බැරි වුණා කියලා හිතෙන්න දෙයක් නැහැ. මට වැරදුණා කියලා දැනෙන්න දෙයක් නැහැ. ඇත්තටම සාර්ථක ගමනක් ආව බව මට හැදෙනවා. ඉතින් ආව ගමන ගැන මං ඉන්නෙ ගොඩක් සතුටින්.

තමාරා පතිරණ
නවලිය

Back to top button