දේශීය පුවත්

මෙරටට ගෙන්වන කොවිඩ් එන්නත

මෙරටට ගෙන්වීමට බලාපොරොත්තුවන කොවිඩ් එන්නත, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි තත්ත්වයකදී භාවිත කිරීමට සුදුසු යැයි නිර්දේශ කළ එන්නත් පමණක් බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

කොවිඩ් එන්නත් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙල පිළිබඳව අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඒ බව සඳහන් කළේය.

“කොවිඩ් සඳහා එන්නත් ලබා ගැනීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතිනවා. එහිදී මූලික කාරණා කිහිපයකට අවධානය යොමු කරලා තියෙනවා. කුමන වර්ගයේ එන්නත් ලබාගත යුතු ද? යන්නත් එන්නත් ගබඩා කිරීම ගැන හා ගබඩා කිරීමේ පහසුකම් ගැනත්. එන්නත් ලබාදීමේදී ප්‍රමුඛතාවය ලබාදිය යුත්තේ කාටද යන්නත් අවධානයට යොමුවෙලා තියෙනවා. එන්නත් ගබඩා කිරීමේ ශ්‍රී ලංකාව තුළ අවශ්‍ය ශීතකරණ පහසුකම් ගැනත් ප්‍රවාහන පහසුකම් ගැනත් එන්නත් ලබා දෙන්නේ කුමණ ස්ථානවලදී ද යන්නත් අවධානය යොමු කරලා තියෙනවා. එන්නත් ලබා දීමේ දී මූලිකත්වය දෙනු ලබන්නේ සෞඛ්‍ය අංශ හා නිධන්ගත රෝගවලින් පෙළෙන වයස වැඩි අයට හා රටේ ආර්ථික මරමස්ථානවල සේවය කරන පිරිස් සඳහා.”

මේ අතර පාසල් විවෘත කිරිමෙන් පසු කොවිඩ් අවදානම අවම කරගැනීම සඳහා සියලු පාර්ශ්ව වගකීමෙන් කටයුතු කළ යුතු බවද වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

“ලබන එකොළොස් වැනිදායින් ආරම්භ කිරීමට නියමිත පාසල් පටන් ගැනීමේදී නිරෝධායන නීති අකුරටම පිළිපැදීමට දරුවන්ට ඒ සඳහා අවබෝධය ලබා දීමටත් කෑම ගැනීමේදී දරුවන් එකට කෑම නොගැනීමටත් රංචු වශයෙන් සිටීම අවම කිරීමටත් කටයුතු කළ යුතුයි.”

මේ අතර විදේශිකයින් සංචාරය කිරීමේදී රට තුළ සමාජය සමඟ ගැටීමක් නොවන ආකාරයට එය පවත්වාගෙන යායුතු බවද පෙන්වා දුනි.

ඊට සම්බන්ධවන ශ්‍රී ලාංකික සේවකයන් ඔවුන්ගේ සංචාරයෙන් පසු දින 14ක නිරෝධායන කාලයක් ගත කිරීමේ අවශ්‍යතාවය ද එහිදී පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published.

Back to top button