දේශීය පුවත්

පරිත්‍යාගයක් ලෙස කොවිඩ් එන්නත් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත මෙරට තුළ හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අද (22) අනුමැතිය ලබාදුන්නේය.

ඒ අනුව ඉන්දියාවෙන් පරිත්‍යාගයක් ලෙස මෙරටට පළමු එන්නත් තොගය ලැබීමට නියමිත අතර එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේය.

කොවිඩ් වංසගතය ගෝලීයව මතු කළ අර්බුදකාරී තත්ත්වය හමුවේ ලෝකයම අවධානය යොමු කළ කරුණ වූයේ කොවිඩ් මර්දනය සඳහා නිෂ්පාදනය කෙරෙන එන්නත කුමක් ද යන්නය.

එම බලාපොරොත්තුවට කොළ එළියක් දල්වමින් එන්නත් කිහිපයක් ලොව පුරා නිෂ්පාදනය කෙරුණි.

ඒ අතරින් වැඩි අවධානයක් දිනාගත්තේ අමෙරිකාවේ ෆයිසර් බයෝ එන් ටෙක් සහ මොඩෙර්නා ,එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා, රුසියාවේ ස්පූට්නික් ෆයිව් සහ චීනයේ නිෂ්පාදිත සිනොෆාම් යන එන්නත්ය.

එයින් සායනික පර්යේෂණවලදී 95%ක වැඩිම සාර්ථකත්වයක් ඇති බව පැවසුනේ ෆයිසර් එන්නත මේ වන විට රටවල් රැසක් හදිසි භාවිතය සඳහා යොදාගෙන තිබේ.

එවැනි පසුබිමක තමන් නිෂ්පාදනය කළ දෙවැනි කොවිඩ් එන්නත 100%ක් සාර්ථක බව රුසියාව පසුගියදා නිවේදනය කළේය.

“එපිවැක් කොරෝනා” ලෙසින් නම් කර ඇති එම එන්නත එළඹෙන මාසයේදී එළිදැක්වීමට නියමිතව තිබේ.

ලොව රටවල් රැසක් කොවිඩ් මර්දන එන්නත්කරණය ආරම්භ කරද්දී මෙරට රජයද එන්නත් ගෙන්වීම සම්බන්ධයෙන් අවධානය යොමු කළේය.

ෆයිසර් එන්නත වැඩි සාර්ථකත්වයක් පෙන්වන බව පැවසුන ද එය සෙල්සියස් අංශක ඍණ 70ක් තරම් අධි ශීත පරිසරයක ගබඩා කළ යුතු වීම ගැටලුවක් බව මෙරට බලධාරීන් පෙන්වා දුන්නේය.

ඔක්ස්ෆර්ඩ් සරසවිය සහ ඇස්ට්‍රාසෙනෙකා ආයතනය එක්ව නිපදවූ කොවිඩ් එන්නත මෙරට තුළ හදිසි භාවිතය සඳහා යොදා ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය ලබා දීම සඳහා අද තීරණය කළේ ඒ පිළිබඳ සලකා බැලුණු විශේෂඥ කමිටුවේ සාකච්ඡාවෙන් පසුවය.

ඔක්ස්ෆර්ඩ් සරසවිය සහ ඇස්ට්‍රාසෙනෙකා ආයතනය මෙම එන්නත දකුණු ආසියානු කලාපයේ බෙදාහැරීම සඳහා එහි නිෂ්පාදන කටයුතු සිදුකිරීමට ඉන්දියාවේ පූනෙයිහි පිහිටි සීරම් ආයතනයට අනුමැතිය දී තිබේ.

මෙහි සාර්ථකත්වය දැක්වෙන්නේ 80% ක් ලෙස වන අතර එන්නත අවස්ථා දෙකකදී ලබා ගත යුතු වේ.

ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, මාලදිවයින, භූතානය යන රටවල් මේ වන විට මෙම ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත භාවිතයට ගනු ලබයි. ඒ අමෙරිකානු ඩොලර් 5ක් වැනි මුදලකටය.

අනෙකුත් එන්නත්වලට සාපේක්ෂව වැයවන මුදල අඩුවීම, එන්නත් ගබඩාකරණයේදී පැවතිය යුතු තත්ත්වයන් වැනි කරුණු සැලකීමේදී මෙරටට වඩාත්ම උචිත එන්නත මෙය බව විශේෂඥයින් පෙන්වා දෙයි.

මේ අතර ඉන්දියාවෙන් කොවිඩ් එන්නත් මෙරටට ගෙන්වීමට නීතිමය අනුමැතිය ලබාගැනීම සඳහා අවශ්‍ය ලේඛන නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (21) රාත්‍රියේ “අද දෙරණ“ට සඳහන් කළේය.

කෙසේ වෙතත් කොවිඩ් එන්නත් මෙරටට ගෙන්වාගැනීම සඳහා වන ගිවිසුමට අදාළව වැඩිදුර පැහැදිලිකිරීම් තමන්වෙත යළි යොමු කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දන්වා යවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button