විදෙස් පුවත්

සෑම මිනිත්තු 4කට වරක්ම දිල්ලි නගරයේ කොවිඩ් මරණයක්

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම අඛණ්ඩව සිව්වැනි දිනයටත් ලක්ෂ 3 ඉක්මවා ගොස් ඇත.ඒ ගෙවුණු පැය 24 තුළදීත් එරටින් නව ආසාදිතයින් 350,000ට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවීමත් සමගය.එරට කොවිඩ් මරණ ගණන ද ක්‍රමයෙන් ඉහළ යමින් පවතින අතර ඉන් බහුතරය වාර්තාවන්නේ ඔක්සිජන් හිඟකමිනි.ඊයේ (24) දිනයේදී එරටින් වාර්තාවූ මරණ ගණන 2,761කි.

නවතම වාර්තාවලට අනුව සෑම මිනිත්තු 4කට වරක්ම දිල්ලි අගනුවරින් එක් කොවිඩ් මරණයක් වාර්තාවෙමින් පවති.එහෙත් සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ, ඉන්දියාවේ කොවිඩ් උපරිමය තවත් සති තුනකින් පමණ අපේක්ෂා කළ හැකි බවය.ඒ අනුව ඉදිරියේදී එරටින් මීටත් වඩා වැඩි මරණ ගණනක් වාර්තාවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ආසාදිතයින් දිනෙන් දින ඉහළයන පසුබිමක, ජීවිතය ගැන වූ අපේක්ෂා තවදුරටත් පහළ දමමින්, ඉන්දීය රෝහල් බරපතළ සායනික ඔක්සිජන් හිඟයකින් පීඩාවිඳීමින් පසුවේ.දිල්ලි අගනුවර සහ ජනාකීර්ණ මහාරාශ්ට්‍රයේ රෝහල් ඔක්සිජන් නොමැතිව රෝගීන් ඇතුලු කරගැනීම පවා ප්‍රතික්ෂේප කරමින් සිටියදී එරට කළු කඩවල වඩා වැඩි මිල ගණන්වලට ඔක්සිජන් ටැංකි අලෙවි වෙමින් පවති.රටේ කොවිඩ් පාලනය ක්‍රමයෙන් ගිලිහෙමින් පවතින්නේ ඉන්දීය රජය කෙරෙහි වූ ජනතා ප්‍රසාදය ද පළුඳු කරමිනි.

කොවිඩ් අවදානම මතුවෙමින් පැවතියදී කඩිනම් පියවර නොගැනීම පිළිබඳ චෝදනා ලැබූ රජය දැන් සායනික ඔක්සිජන් ප්‍රවාහනයට හමුදා ගුවන්යානා සහ දුම්රිය පවා යොදාගැනීමට පියවර ගනිමින් සිටී.මේ අතර ලොව පුරා කොවිඩ් එන්නත් මාත්‍රා බිලියනයක් ලබාදී අවසන් බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබේ.කෙසේ නමුත් ඉන් අඩක්ම ලබාදී තිබෙන්නේ ලොව ධනවත් රටවල් තුනක් සඳහා පමණි.ඒ අමෙරිකාව, චීනය සහ ඉන්දියාව සඳහාය.‍එවැනි පසුබිමක ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන 14 කෝටි 70 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.වාර්තා වූ සමස්ත මරණ 31 ලක්ෂ 12 දහසකට අධිකයි.

Leave a Reply

Your email address will not be published.

Back to top button