විදෙස් පුවත්
බයිඩන්ට චීනය, රුසියාව සහ උතුරු කොරියාව සුබ පැතුම් එක් නොකළ හේතුව මෙන්න

ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ජෝ බයිඩන් වෙත සුබ පැතුම් පිරිනැමීමෙන් වැළැකී සිටීමට චීනය, රුසියාව සහ උතුරු කොරියාව කටයුතු කර ඇත. ජනාධිපති ට්‍රම්ප් නීතිමය පියවර ගැනීමට යන හෙයින් අවසාන විනිශ්චය ලැබෙන තුරු එසේ නොකරන බව චීන සහ රුසියානු බලධාරීහු පවසති.
නමුත් 2016 වසරේ ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ප්‍රකාශයට පත් කරන ලද දිනට පසුදිනම (නොවැම්බර් 9) චීන නායක ෂී ජින් පිං ඔහුට සුබ පැතුවේය.
“ජෝ බයිඩන් ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් වී ඇති බව අපි දනිමු. නමුත් ඇමෙරිකාවේ නීතිය සහ ව්‍යවස්ථාපිත ක්‍රමවේදයට අනුව එය තීරණය වීමට නියමිතව ඇතැයි අපි අවබෝධ කරගෙන සිටිමු.” යැයි චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක වැං වෙන්බින් ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් ජනවාරි 20 වැනිදා නව ජනාධිපති ලෙස නිල වශයෙන් දිවුරුම් දීමෙන් පසු සිදු කිරීමට අපේක්ෂිත කටයුතු ජෝ බයිඩන් දැනටමත් ආරම්භ කර ඇත. ට්‍රම්ප්ද ලක්ෂ ගණනින් තම අනුගාමික ජනතාව පාරට බැස්වීමට සහ අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීමට සූදානම් වෙමින් සිටියි.
ප්‍රකාශිත ප්‍රතිඵලය ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළත් ඇමෙරිකා එක්සත් ජනපදයේ සමීප මිත්‍ර රටවල් රැසක් බයිඩන් හට සුබ පැතුම් පිරිනමා ඇත. ඒ අතරින් බහුතරය යුරෝපයේ, ආසියාවේ සහ මැද පෙරදිග රටවල්ය. ට්‍රම්ප් සමඟ සමීප සබඳතා පැවැත්වූ ඊශ්‍රායලය සහ සෞදි අරාබිය පවා ඒ අතර වෙයි.
ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කරමින් එක්සත් ජනපදයේ නායකයා කවුරුන් වුවත් එම දේශය සමඟ උරෙනුර ගැටෙමින් වැඩ කිරීමේ අවශ්‍යතාව යුරෝපා සංගමයට පෙන්වාදී තිබේ. “බයිඩන් යනු ඔබාමා පාලන සමයේ හිටපු උප ජනාධිපතිවරයාය. ඔහු ජර්මනිය හා යුරෝපය ගැන හොඳින් දන්නා, නේටෝ සගයන් සමඟ හවුලේ කටයුතු කිරීමේ වටිනාකම හඳුනන පළපුරුදු නායකයෙකි.”

අභිනව ජනාධිපතිවරයා කවරකුදැයි ස්ථිර වූ පසු ඔහුට සුබ පැතීමට මෙම රටවල් තීරණය කර ඇති බව පෙනී යයි.