විදෙස් පුවත්

ඉතාලිය යළිත් වැසෙන ලකුණු

කොවිඩ් තුන්වන රැල්ලකට මුහුණ පා සිටින ඉතාලිය වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා යළිත් පූර්ණ වශයෙන් ලොක්ඩවුන් කිරීමකට සූදානම් වන බව වාර්තා විය.රට තුළ නව කොවිඩ් ආසාදිත රැල්ලක් වාර්තා වෙමින් ඇති බවට ඉතාලි අගමැතිවරයා ඊයේ (12) අනතුරු අඟවනු ලැබීය.

එම අනතුරු ඇඟවීමෙන් පසු ඉතාලියේ බොහෝ ප්‍රදේශවල පාසල්, ආපනශාලා, සාප්පු සහ කෞතුකාගාර ලබන සතියේ සිට වසා දැමීමට නියෝග කර ඇතැයි සඳහන් වේ.නව ආසාදන වැඩිවීමත් සමඟ රටේ ප්‍රදේශ රැසක් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නව දැඩි සීමාවන් ප්‍රකාශයට පත් කර ඇති හෙයින් ඉතාලියේ බොහෝ ප්‍රදේශ සඳුදා සිට නැවත ලොක්ඩවුන් ක්‍රමවේදයට අවතීර්ණ වනු ඇත.

මිලාන් අවට ලොම්බාර්ඩි ඇතුළු බොහෝ ප්‍රදේශ මෙන්ම රෝමය අවට ලාසියෝ ඇතුළු බොහෝ ප්‍රදේශ සඳුදා සිට “රතු කලාප” ලෙස නම් කෙරෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.ඉතාලි අගමැතිවරයා රෝමයේ ෆියුමිසිනෝ ගුවන් තොටුපොළේ නව එන්නත් කිරීමේ මධ්‍යස්ථානයකට ගිය අවස්ථාවේදී ප්‍රකාශ කළේ, වසංගතය ආරම්භ වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත්, අවාසනාවන්ත ලෙස නැවතත් නව ආසාදන රැල්ලකට මුහුණ දී සිටින බවය.මාරාන්තික වෛරසයේ පළමු රැල්ල සිහිපත් කරමින් එවැන්නක් නැවත සිදුවීම වැළැක්වීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.ඉතාලියෙන් පසුගිය සතියේ නව කොවිඩ් ආසාදිතයන් 150,000 කට වඩා වාර්තා වී තිබේ.කෙසේවෙතත් ඊට පෙර සතියේ වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 131,000කට අඩු සංඛ්‍යාවකි.

Leave a Reply

Your email address will not be published.

Back to top button