IPL – චෙන්නායි කණ්ඩායමට ජය

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (25) පැවති තරගවලින් ජය ලැබීමට චෙන්නායි සුපර් කිංග්ස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් සමත්විය.රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 69ක ජයක් හිමිකර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්වුණි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 191ක් ලබා ගත්තේය.පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බැංග්ලෝර් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 122ක් පමණි.

මේ අතර සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග පැවති තරගය සුපිරි පන්දුවාරයෙන් ජයගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් විය.තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 159ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස හයිද්‍රාබාද් කණ්ඩායම ද නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 159ක් ලබා ගත්තේය.

ඒ අනුව කණ්ඩායම් දෙක සඳහා සුපිරි පන්දුවාරයක් ලබාදී තිබුණි.එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 07ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස දිල්ලි කණ්ඩායම ලකුණු 08ක් ලබාගනිමින් ජයග්‍රහණය වාර්තා කළේය.

 

 

Exit mobile version