සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 3ක ආසාදිතයින් වැඩිවේ

මහනුවර, හාරිස්පත්තුව සහ අලව්ව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් ආසාදිතයින් 30 ඉක්මවූ සංඛ්‍යාව බැගින් ඊයේ (24) දිනයේ වාර්තා වී තිබේ.
මේ අතර දැඩි සංචරණ සීමා පනවා ඇති පූගොඩ කුමාරවිල ගම්මානයේ නව ආසාදිතයින් 24 දෙනෙකු හඳුනාගෙන ඇති බව පූගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්. ඒ. බණ්ඩාරනායක මහතා පැවසීය.
මේ වනවිට එම ප්‍රදේශයෙන් ආසාදිතයින් 658 දෙනෙකු හඳුනාගෙන ඇති බව ඔහු සඳහන් කළේය.
වව්නියාව නගරයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළයෑම හේතුවෙන් නගරයේ මාර්ග කිහිපයක වෙළෙඳසැල් තවදුරටත් වසා තැබීමට පියවර ගෙන තිබේ.
එම වෙළෙඳසැල් හිමියන් සහ සේවකයින් 717 දෙනෙකු පසුගිය දින දෙක තුළ PCR පරීක්ෂණ සඳහා යොමුකිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇති අතර එහි ප්‍රතිඵල මත වෙළෙඳසැල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිතය.
යටියන්තොට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් එම නගරයේ සිදුකළ අහඹු PCR පරීක්ෂාවකින් වෛරසය ආසාදිතවූවන් සිව්දෙනෙකු හදුනාගෙන ඇත.
ඉන් ආසාදිතයින් දෙදෙනෙකු යටියන්තොට නගරයේ එළවලු වෙළඳසැල් දෙකක සේවකයින් වන අතර එම වෙළඳසැල් 2ක වසා දැමුණි.
ඊයේ (23) වාර්තා වූ ආසාදිතයින් සිව්දෙනා උඳුගොඩ සහ වරකාපොළ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.