මට දැන් එහෙම කෙනෙක් ඉන්නවා විස්තර පස්සෙ කියන්නම් – දමිත්‍රි සුබසිංහ

ඇය මේ දිනවල බොහෝ දෙනාගේ ආදරයට ලක්වෙලා ඉන්න චරිතයක්. ඒ ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ විහාරා ටීචර් විදියට. ඒ අතරෙ ඇය සැබෑ ජීවිතයේ සුවිශේෂී වූ ආදරයකටත් ලක්වෙලා. ඒ ගැන අපිට කිව්වෙ විහාරා නම් නෙවෙයි දමිත්‍රි. දමිත්‍රි සුබසිංහ….

විහාරා කියන්නෙ අද දවසේ පුංචි තිරය තුළ ඉතා ජනප්‍රිය චරිතයක්. දමිත්‍රිට මොකද ඒ ගැන හිතෙන්නෙ ?…

ඉස්කෝලේ ටෙලිනාට්‍යය හරහා විහාරා කියන ගුරුවරියට පණ දෙන්නෙ දමිත්‍රි සුබසිංහ කියන මම නේද කියල හිතෙද්දි ඇත්තටම මගේ හිතේ ඇති වෙන්නෙ කියාගන්න බැරි තරම් සතුටක් වගේම නිහතමානී ආඩම්බරයක්.

නිහතමානී බව කෙසේ වෙතත් දමිත්‍රි දැන් ආඩම්බරයි කියලනම් ආරංචියි…

අනේ ඒකනම් ලොකු බොරුවක්. ඇත්තම කිව්වොත් මම ක්‍ෂේත්‍රයට ආපු කාලෙට වඩා දැන් නිරහංකාරයි. මොකද ආදරණීය රසික රසිකාවියන්ගෙ ආදරය වැඩියෙන් ලැබෙද්දි හිටියට වැඩිය සිය ගුණයකින් නිරහංකාර වෙන්න ඕන කියන එක මම නිතරම හිතනවා. මාව දන්න කියන අය දන්නවා මම ආඩම්බර නෑ කියලා.

විහාරා ටීචර්ට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්…

විහාරා කියන්නෙ නර්ථන ගුරුවරියක්. ඇය කරන කියන දේවල් අනුව හැමෝටම ප්‍රියජනක චරිතයක් වෙනවා. ඒ තත්ත්වය නාට්‍යයෙන් පිටතටත් ඇවිත් දකින දකින අය චූටි ටීචර්, විහාරා ටීචර් කියල මාව ආමන්ත්‍රණය කරන්නත් පෙළඹිලා. ඉස්කෝලේ කියන්නෙ මම රංගනයෙන් දායක වෙන තුන්වැනි නිර්මාණය. එහි මගේ චරිතය වෙනුවෙන් තමයි මට මෙතෙක් වැඩියෙන්ම ඇගයීම් හිමිවෙලා තියෙන්නෙ.

කොහොමද අවස්ථාව හිමිවෙන්නෙ ?…

මම සම්බන්ධ වුණ දෙවැනි නිර්මාණය “පාවෙලා වළාකුලේ ඒවිද අම්මා” නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්න කාලෙම මම හිතන්නෙ මගේ නර්ථන හැකියාව නිසා මේ චරිතයට තෝරගෙන තිබුණා.

විහාරාට සාධාරණය ඉටු කරන්න දමිත්‍රි ගොඩක් වෙහෙස වෙන්න ඇතිනේද ?…

සාමාන්‍යයෙන් ඉතින් අපි ඕනම කෙනෙක් තමන්ට ලැබෙන චරිතයක් හරහා ප්‍රේක්‍ෂකයාට හරිහැටි සාධාරණය ඉටු කරන්න නම් ඒ සඳහා කැපවෙන්නට ඕන. මෙතනදී සැබෑ ජීවිතයේ නර්ථනය ප්‍රගුණ කරපු ශිල්පිනියක් විදියට ඒ දක්‍ෂතා මගේ චරිතය ගොඩනඟාගන්න බෙහෙවින් උපකාරී වුණා. ඇත්තටම කිව්වොත් විහාරා ටීචර් මගේ සැබෑ ජීවිතේට කිට්ටු සම්බන්ධයක් තියෙන චරිතයක්.

ගුරුවරියකගේ භූමිකාව සැබෑ දිවියට මෙතරම් සම්බන්ධ ඔබට ජීවන වෘත්තිය ලෙස ගුරුවෘත්තිය තෝරා ගන්න හිතුනෙ නැද්ද ?…

ඇත්තම කතාව මං පුංචි කාලේ ඉඳලම මගේ අම්මට උවමනාවෙලා තිබුණේ මම ගුරුවරියක් වෙනවා දකින්න. ඇය ඒ තරම් ගුරුවෘත්තියට කැමතියි. ඒත් ඉතින් මට ඕන වුණේ වාණිජ අංශයෙන් ඉදිරියට යන්න. එහි ප්‍රතිඵලයක් විදියට තමයි මට බැංකුවක රැකියාවක් හිමි වෙන්නෙ.

නිර්මාණයක් හරහා හෝ දුව ගුරුවරියක් වීම ගැන අම්ම මොකද කියන්නෙ ?…

අම්ම ගොඩක් ආසයි. ඒ වගේම මගේ රංගනය දැකල ඇය ලොකු සතුටක් ලබනවා. ප්‍රධානම දේ තමයි මෙතෙන්දි මගේ චරිතයට අවශ්‍ය සාරි, බෑග්, සෙරෙප්පු වගේ හැමදේකටම අම්ම තමයි විශේෂ අවධානය යොමු කරලා උදව් උපකාර කරන්නෙ.

දැඩි බැඳීම නිසා නේද දැන් දැන් නිතර නිතර අම්මත් එක්ක ගැටුම් ඇති වෙන්නෙ ?…

ඇත්තටම කිව්වොත් මට මගේ අම්ම හොඳම යෙහෙළියක් වගේ. පුංචි කාලේ ඉඳල ගමනක් බිමනක් ගියත් මොනව කරත් කිව්වත් දෙන්නට දෙන්න නැතුව බෑ. ඒ දැඩි බැඳීම නිසාම අපි දෙන්න අතරේ පුංචි පුංචි නොහොඳ නෝක්කාඩු ඇති වෙනවා. ගොඩක් වෙලාවට වැඩකට නැති පුංචි දේවල්වලට. ඒ වෙලාවට අම්ම අත අරින්නෙත් නෑ මම අතඅරින්නෙත් නෑ. හැබැයි බොහොම ඉක්මනින් ආයේ සෙට්ල් වෙනවා හරියට කිරියි පැණියි වගේ.

කිරියි පැණියි වගේ ගැළපෙන කෙනෙක් දමිත්‍රිගේ ජීවිතේට එකතු වෙලා කියන එක දැන් ප්‍රසිද්ධ රහසක්…

ඔව් ඒක ඇත්ත. දැන් මගේ ජීවිතේ ඇතුළෙ එහෙම කෙනෙක් ඉන්නවා. ඔහුත් මගේ අම්ම වගේ මම දිහා බලාගෙන ඉඳලා මට මිස් වෙන තැනක් දැක්කොත් ඒ දේවල් නිවැරදි කරගන්න වගේම මගේ හැම වැඩකටම උපරිම ලෙස සහයෝගය දෙන කෙනෙක්.

ඔහු කවුද කියලා දැන ගන්න දමිත්‍රිගේ ආදරණීය රසිකයො කැමති වේවි…

අනේ…. ඒක මම පස්සෙ කියන්නම්. දැනට එයා මගේ ජීවිතේ හොඳ පැත්තට ගෙනියන්න උදව් කරන කෙනෙක් කියලා විතරක් කියන්නම්.

ඔහු ළඟ තියෙන ඔබ කැමතිම සහ අකමැතිම ගුණාංගය මොනවද ?…

කැමතිම ගුණාංගය තමයි මා ගැන සොයා බලමින් ඉවසීමෙන් ආදරෙන් ඉන්න එක. අකමැතිම නම් ඉවසල ඉවසල බැරිම තැන කේන්ති ගන්න එක.

කොයි කාලෙද එකලාසයක් වෙන්නෙ ?…

ඒකට තව ටිකක් කල්තියෙනවා. කොහොමත් මේ කාලෙ වෙඩින් ගන්න බෑනේ. රටේ තත්ත්වය යහපත් වෙනකම් අපි ප්ලෑන් කරගෙන යනවා. දවස පස්සෙ කියන්නම්.

ජීවිතේ වැඩි ඉඩක් දෙන්නෙ රැකියාවටද රංගන කටයුතුවලටද ?…

මම හැම වෙලාවෙම හිතන්නෙ ඔය දෙක දෙකක් කියන එකම තමයි. මම වැඩිදුර ඉගෙන ගෙන ඉදිරියට ආවෙ එයින් ප්‍රයෝජනයක් අරගෙන මගේ ජීවන වෘත්තිය සරිකර ගන්න. ඔය අතරෙ පෙර වාසනාවකට රංගන ක්‍ෂේත්‍රයට පය තියන්න මට අවස්ථාව හිමි වුණා.

රැකියාවට වගේම රංගනයේ යෙදෙන්නත් මම එක වගේ කැමති නිසා මේ වෙද්දී හැමදේම බැලන්ස් කරගෙන ගමනක් යනවා.

ඔය හැම දේම අතරේ දමිත්‍රිගෙ අනාගත බලාපොරොත්තු මොන වගේද ?…

හැම ගෑනු ළමයෙක්ම වගේ ජීවිතේ විඳිමින් ප්‍රීතිමත් ජීවිතයක් ගතකරන එක තමයි මගෙත් එකම බලාපොරොත්තුව.

ධම්මික හේවාවසම්
ඡායා – සුජාතා ජයරත්න , හැඩගැන්වීම – සැලෝන් කිත්මිණි (මීරිගම)
නවලිය

Exit mobile version