Uncategorized

‘අද කලාවට වෙලා තියෙන දේ ගැන ගොඩක් දුකයි’ රංගන ශිල්පී ලක්ෂ්මන් මෙන්ඩිස් කියන කතාව

මේ දිනවල කොයි කාගේත් කතාබහට බඳුන්වන විශිෂ්ඨ ගණයේ නිර්මාණයක් ලෙස හඳුන්වන්න පුළුවන් ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශනය වන පානාමංකඩ ටෙලි නිර්මාණය.සමන් කුමාර ගමගේ තිර රචනයෙන් ද ගයාන් දිනේෂ් පෙරේරාගේ නිෂ්පාදනයෙන් ද රනිල් කුලසිංහගේ කතා සංකල්පය හා අධ්යක්ෂණය කරන මෙය ‘පානීය ජල මංකඩ’ යන තේරුමෙන් නිර්මාණය වූවක්.

බිරිඳ අහිමි, දියණියන් සිවුදෙනෙකුගේ අප්පච්චී වන එසේම පාරම්පරික නර්තන සම්ප්රදාය යේ ගුරුන්නාන්සේ ද වන ප්රධාන චරිතයක් නිරූපණය කරන්නේ ප්රතිභාපූර්ණ රංගධර ලක්ෂ්මන් මෙන්ඩිස් මහතා විසින්.ඉතින් පසුගිය දවසක ඔහු පුවත්පතක් ඔස්සේ මේ අපූරු චරිත නිරූපණය පිළිබඳව කතා බහ කරල තිබුණා.ඉතින් ඒ සියල්ල ඒ ආකාරයෙන්ම මෙහිදී සඳහන් කරන්නට යෙදුණා.

“මේක මට කාලෙකින් ලැබුණු ඉතා ම හොඳ චරිතයක් වගේ ම මම ගොඩාක් සතුටින්, උනන්දුවෙන් හා කැපවීමෙන් කළ රඟපෑමක් බව නම් කිව යුතුයි. මේ චරිත නිරූපණය වෙනුවෙන් බොහෝ දේ අලුතෙන් ඉගෙන ගන්න මට සිදු වුණා. පාරම්පරික නර්තන ශිල්පීන් එක්ක එකට වැඩ කරමින්, ඔවුන්ගේ කලාවන් හදාරන්න මට සිදු වුණා. පාරම්පරික නර්තන ශිල්පියාට අද අත්වී ඇති ඉරණම පිළිබඳ ව මේ නිර්මාණයේ දී හරි අපූරුවට කතා කරනවා. සිංහල සංස්කෘතික ආයතනයේ ලේකම් හැටියට මේ සාම්ප්රදායික නර්තන කලාව රැකගැනීමේ වගකීම්ධාරියෙක් හැටියටත් මට මේ නාට්ය කෙරෙහි බැඳීමක් තිබෙනවා. ඒ නිසා මේ චරිතය මට මේ අවස්ථාවේදී ලැබීම ගැන බෙහෙවින් සතුටට පත් වෙනවා. ජන සංගීතයේ විශිෂ්ටයෙක් වන සමන් ලෙනින් අප දන්න ජන සංස්කෘතියට වඩා ජනතාවට බැඳෙන ජන ගී ගායන ශෛලියකින් මෙහි සංගීතය හා ඔහුගේ ගායනයන් ඉදිරිපත් කළා. නටන්න මට බැරි වුණාට ජන ගායනය පිළිබඳ සහජ හැකියාවක් මටත් තියෙනවා. මේ නිර්මාණය සඳහා ම මම බුලත්සිංහල නම් තරුණයාගෙන් බෙර වාදනය ඉගෙන ගත්තා. රූගත කිරීම්වලදී පැය දොළහක් එක දිගට මම බෙර ගැහුවා.

පාරම්පරික බෙරවාදන ශිල්පීන් එක්ක රූගත කිරීම්වලදී බෙර ගහගෙන යද්දි නොදන්න පද මගේ අතින් ඉබේ ම වගේ වැයුණා. මගෙන් සමහරු අහනවා ‘ලකී අයියා ඔයා වෙස් බැන්දා’ ද කියලා. මම නැට්ටුවෙක් නොවුණාට රංග ශිල්පියෙක් හැටියට ඒ නිර්මාණයට සාධාරණය ඉටු කළා කියලා නිර්මාණය නරඹද්දි වගේ ම ලැබෙන ප්රතිඛාරවලින් මට හැඟෙනවා. මම කළේ චරිත නිරූපණයක් වුණාට මේ නිර්මාණයට පාරම්පරික බෙර හා නර්තන ගුරුන්නාන්සේලා බොහෝ පිරිසක් සම්බන්ධ වුණා. ඔවුන් අතර මම කූඹියෙක් වගේ පුංචි ම පුංචි කෙනෙක් විතරයි. මේ නිසා මම මගේ රසික ප්රේක්ෂකයින්ගෙන් ඉතා ම ආදරයෙන් ඉල්ලා සිටින්නේ මගෙ රඟපෑමේ යම් අඩුවක් ඇත්නම් මට සමාවෙන්න කිය.


“මට මේ වගේ විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙන්නේ වසර දොළහකට පමණ පසුවයි. අධ්යක්ෂවරයා ඉතා ම දක්ෂ විදිහට අපි හැමෝගෙ ම රංගනයන් එම නිර්මාණයට අවශ්ය ආකාරයට උකහා ගත්තා. අපි හැමෝම සතුටින්, විනෝදෙන්, පුදුම බැඳීමකින් හා සැහැල්ලුවෙන් මේ නිර්මාණ කාර්යයට සම්බන්ධ වුණා.”

“මේ තනතුර දයානන්ද ගුණවර්ධන ශූරීන් වසර එකොළහක් දරමින් සිංහල සංස්කෘතියට, කලාවට, නාට්ය කලාවට විශාල මෙහෙවරක් ඉටු කළා. මටත් අවශ්ය වන්නේ එවැනි විශාල සේවාවක් ලංකාවේ කලාව, සංස්කෘතිය වෙනුවෙන් ඉටු කරන්නටයි. දැනටමත් ලෝකප්රකට නාට්ය පුහුණුකරුවන්ගෙන් අපේ තරුණ නිර්මාණකරුවන්ට පුහුණුවක් ලබාදෙන්න කටයුතු කරගෙන යනවා.

රංගනය පැත්තෙන් මම තෘප්තිමත් කෙනෙක් නිසා මේ කාලේ මම වැඩිපුර ම කාලය යොදවන්නේ අපේ පාරම්පරික කලාවන් රැක ගැනීමටත්, නව නිර්මාණකරුවන්ට අත දෙමින් මේ කලාව, සෞන්දර්ය මතු පරපුර සඳහා රැකදීම සඳහා යි. මගේ බිරිඳ ගීතා ශ්යාමලී මාරසිංහ මට ඒ වැඩකටයුතු සඳහා ලොකු සහායක් දෙනවා. මගේ දුවයි පුතයි මාව දිරිමත් කරනවා. විදේශීය ටෙලිනාට්යයක් පසුගිය දිනවල ලංකාවේ රූගත කෙරුණා. ඒ වෙලාවේ අපේ තරුණ කාර්මික ශිල්පීන් 150කට විතර එම නිෂ්පාදනයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඉදිරියේදී කලාව වෙනුවෙන් තව බොහෝ දේ කරන්න බලාපොරොත්තු වෙනවා. කියලා තමයි ලක්ශමන් මෙන්ඩිස් මහත්මයා කියලා තිබුණේ.

Back to top button