සුව අරණ
Trending

හිසකෙස් ලස්සනව තියාගන්නා ආකාරය

ඔබ වෙනුවෙන් එදිනෙදා ජීවිතයට අවශ්‍ය දැනුම ලබාදෙන ලිපි අපි ඔබවෙත ගෙන එනවා. විශේෂයෙන් ඔබේ ශරීරය සහ රූපය නිවැරදිව නඩත්තු කරමින් පවත්වාගෙන යාම පිළිබඳව අපි ඔබව දැනුවත් කරනවා. රූපය ගැන, ශරීරය ගැන දැනුවත් කෙරෙන බොහොමයක් තොරතුරු ඉලක්ක කරගෙන අපි, පිරිමි ඔබේ ශරීරය සහ රූපය නිසි පරිදි පවත්වාගෙන යන්නෙ කොහොමද කියන කාරණය ගැන ඔබව දැනුවත් කරන්න අවශ්‍ය තොරතුරු ගෙන එනවා. මේ එහිම තවත් එක් පියවරක්.

සාමාන්‍යෙන් පිරිමි පාර්ශවයට තිබෙන රූපය සම්බන්ධ වන ගැටළු සළකා බැලුවොත් එතැනින් ප්‍රධාන වන්නේ හිසකෙස් සම්බන්ධ ගැටළු. හිසකෙස් ගැලවී යෑම, තට්ටය මතුවීම, හිසකෙස් අවර්ණ වීම වගේ ගැටළු රැසක් බොහෝ තරුණ වයසේ පිරිමින්ට තිබෙන බව හඳුනා ගන්න පුළුවන්. මෙවැනි ගැටළු ඇතිවන්නේ ඇයි..? ඔබ මේ ගැන සිතා බැලුවද..? මේකට විවිධ කාරණා බලපාන්න පුළුවන්. සමහර විට ප්‍රවේණිමය කරුණු විය හැකියි. එහෙමත් නැතිනම් වෙනත් කිසියම් හේතුවක් වන්නටත් පුළුවන්. ඒ කුමක් වුවත් ඔබේ සමහර පුරුදු, ආහාර රටාවන් වගේ කාරණා නිසා ඔබේ හිසකෙස් වලට හානිවිය හැකි බව ඔබ මීට පෙර සිතා තිබුණද..? කෙසේ වෙතත් අපි අද ඔබට කියන්න යන කාරණා කිහිපය ගැන නිරන්තරයෙන් සැළකිලිමත් වන්නට වගබලා ගත්තොත්, හිසකෙස් ගැන ඔබට තියෙන කණස්සල්ල නැතිකර ගැනීමට හැකිවේවි.

පෝෂ්‍යදායි ආහාර වේලක් ගන්නවද..?

healthy foods
healthy foods

ඔබේ ආහාර රටාව සහ විවිධ ආහාර පුරුදු ඔබේ හිසකෙස් වල තත්වයට සෘජුවම බලපානවා. ශරීරයේ අනික් කොටස් වලට වගේම හිසකෙස් වලටත් පෝෂණය අත්‍යවශ්‍යයි. ඒ නිසා ඔබ ගන්නා ආහාර වේල හිසකෙස් වලට අත්‍යවශ්‍ය වන පෝෂණ සංඝටක අඩංගු ආහාර වේලක් විය යුතුමයි. යකඩ, ප්‍රෝටීන සහ විටමින හිසකෙස් වර්ධනයට වගේම හිසකෙස් වල ශක්තිමත් භාවය රැකගැනීමටත් අත්‍යවශ්‍ය වනවා. ඔබ ගන්නා ආහාර වේලට මේ පෝෂණ ද්‍රව්‍ය අන්තර්ගත වනවාද කියන කාරණය ගැන නිතර විමසිළිමත් වන්න. කිරි, peas, lentils, සහ ඒවා අඩංගු නිෂ්පාදන කෑම වේලට එකතු කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම එළවලු, පළතුරු, සහ අලුත් මාළු ඔබේ කෑම වේලට එකතු විය යුතුයි. අනික් වැදගත්ම කාරණය දිනකට අවශ්‍ය ප්‍රමාණයට වතුර බීම. අනිකුත් සෑම ශරීර කොටසකට වගේම ප්‍රමාණවත් තරම් වතුර පානය කිරීම හිසකෙස් වලටත් වැදගත් වනවා. ඒ නිසා මේ පෝෂණ කොටස් සියල්ලම ඔබේ ආහාර වේලට එකතු වනවාද කියල හොඳින් සොයා බලන්න.

කොණ්ඩය වේලන්නේ කොහොමද..?

how to dry hair
how to dry hair

නෑමෙන් පස්සේ කොණ්ඩය වෙලාගැනීම කරන්න ඔබ භාවිත කරන්නේ මොකක්ද..? මේකත් ඉතාමත් වැදගත් දෙයක්. ඔබ තුවායක් ආධාරයෙන් කොණ්ඩය වියළා ගන්නවා නම්, ඒක කරන්නේ කොහොමද..? තදින් අතුල්ලමින් කොණ්ඩය පිසදැමීම තමයි බොහෝ දෙනෙකුට පුරුදු. නමුත් ඔබට තියෙන්නේ ඝනකමින් අඩු හිසකෙස් නම් ඔබ වහාම මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. කවර වර්ගයක හිසකෙස් උනත් මේ විදිහට තදින් අතුල්ලා පිසදැමීමෙන් හානි වෙන්න පුළුවන්. දිගින් දිගටම එලෙස කිරීමෙන් හිසකෙස් විශාල ප්‍රමාණයක් ඔබටත් නොදනිම ගැලවී යාමට හැකියි. ඒ නිසා වඩා කල්පනාකාරී වන්න.

ෂැම්පු පාවිච්චි කරන්නේ කොහොමද..?

shampoo conditioner
shampoo conditioner

කාලය වෙනස් වෙලා. අපි හැමෝම අලුත්වෙන ලෝකෙත් එක්ක ඉස්සරහට යමින් ඉන්න පිරිසක්. අලුත් අලුත් නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමත් එක්ක අපිත් ඒ දේවල් භාවිතයට හුරු වනවා. ෂැම්පු කියන්නෙත් එවැන්නක්. මේ වෙද්දී බොහෝ තරුණයන්, තරුණයන් වෙනුවෙන්ම විශේෂයෙන් නිර්මාණය වුනු ෂැම්පු වර්ගයක් පාවිච්චි කරලා හිසකෙස් සෝදන්න පුරුදු වෙලා ඉන්නවා. නමුත් ඔබ හොඳින් මතක තබාගත යුතු දෙයක් තමයි අනවශ්‍ය පරිදි ෂැම්පු භාවිත කිරීමත් ඔබේ හිසකෙස් වලට හානි පමුණුවන බව. සාමාන්‍යෙන් සතියකට තුන් වරක් නැතිනම් හතර වරක් උපරිම ෂැම්පු භාවිත කරන්න ඔබට පුළුවන්. ඉන් එහාට දිනපතාම ෂැම්පු භාවිත කිරීමෙන් ඔබේ හිසකෙස් ගැලවී යන්න හැකියාව තියෙනවා වගේම හිස් කබලේ තිබෙන excess oil නැතිවී යන්න පුළුවන්. ඒක ඔබේ හිසකෙස් වලට අහිතකර තත්වයක්.

විවිධ ආලේපන පාවිච්චි කරනවද..?

තරුණයින් බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා වෙනස් හැඩයකට කොණ්ඩය සකස් කරගන්න. ඒක ඉතාම හොඳ දෙයක්. නමුත් ගැටළුව, ඔබ ඒ වෙනුවෙන් පාවිච්චි කරන නිෂ්පාදන මොනවාද, කොයි තරම් පාවිච්චි කරනවාද කියන එක. hair gel, hair cream, hair mouse, hair spray වගේ විවිධ වර්ග වලින් තියන මේ නිෂ්පාදන පාවිච්චි කරද්දීත් ඔබට වඩාත් සැලකිලිමත් වන්න සිදුවනවා. ෂැම්පු වලින් වගේම ඒවායිනුත් ඔබට සීමාවන් තබාගැනීමට සිදු වනවා. එහෙම නොවුනොත් ඔබේ හිසකෙස් වලට හානි වන්න පුළුවන්. විශේෂයෙන් හිස් කබලට හානි විය හැකියි. ඔබ පාවිච්චි කරන නිෂ්පාදන ගැන වඩ වඩාත් විමසිළිමත් වන්න අත්‍යවශ්‍යයි වගේම කොයි තරම් වාර ගණනක් පාවිච්චි කරනවද කියන කාරණයත් අතිශය වැදගත් වනවා.

නෑමට පාවිච්චි කරන ජලයේ උණුසුම

hot water bath
hot water bath

ඔබ සාමාන්‍යෙන් නෑමට පාවිච්චි කරන වතුර මොනවද..? වඩා හොඳයි කියල විශ්වාස කරල සමහරු උණු වතුර නෑම දිනපතාම කරනවා. මතක තබාගන්න ඔබේ හිසකෙස් වලට නම් ඒ තත්වය එතරම් හොඳ නැහැ. අත්‍යවශ්‍ය තෙල් වර්ග ඔබේ හිස්කබලේ සමෙන් ඉවත් වෙලා හිසකෙස් සහ හිස් කබලත් වියළි යන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන සිතා බලන්න. නමුත් සීතල වැඩි වතුර ඒකට විසඳුමත් නොවෙයි. ඒ නිසා වැඩි උණුසුමක් සහිත වගේම වැඩි සීතලක් සහිත වතුර කියන දෙකම මගහරින්න උත්සාහ කරන්න. ඒ දෙකම නෑමේදී පාවිච්චි කරන්න සුදුසු නැහැ. ඔබේ හිසකෙස් වලට ඒ දෙකම කරන්නේ හානියක්.

නිතර පිළිවෙලට තබාගැනීම වැදගත්.

ඔබේ හිසකෙස් නිසි පරිදි නඩත්තු කරන්න වගබලා ගන්න. නිසි වෙලාවට ඔබේ සැලුන් එකට යන්න මතක තබාගන්න. කොණ්ඩය ක්‍රමවත්ව පිළිවෙලකට සකස් කරගන්න. ඔබ කැමති විලාසිතාව මොකක් වුනත් ඒ විලාසිතාව නිසි පිළිවෙලට නඩත්තු කරන්න. කෙටි කොණ්ඩය හෝ දිගු කොණ්ඩයක් හෝ ඕනෑම එකක් ක්‍රමවත්ව සහ පිළිවෙලට බැලු බැල්මට පෙනීම තමා වැදගත්. ඒ නිසා මේ නිසි නඩත්තුව නොවැරදීම සිදුකරන්න.

මුහුණේ හැඩයට හොඳින් ගැලපෙන කොණ්ඩා විලාසිතාවක් තෝරාගෙන එය හොඳින් නඩත්තු කරගෙන පවත්වාගෙන යාමෙන් ඔබේ රූපයට අමතර හැඩයක් එකතු වනවා. හිසකෙස් කියන්නේ ඔබේ සිරුරේ පිටතට නිරාවරණය වන වැදගත්ම කොටසක්. ඒ නිසා ඒ කොටස නිසි පරිදි පවත්වාගෙන යාමට කටයුතු කරන්න. ඔබේ පෙනුම තව තවත් කඩවසම් ලෙසින් පෙන්වන්නටත් ඒක වැදගත් වේවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button