ගොසිප් පුවත්

ඩොලරයේ අගය ඊයේ පහළ ගිය හේතුව මෙන්න

එක්සත් ජනපද ඩොලරයක් සඳහා වන රුපියල් අගයෙහි සුවිශේෂී පහළ යාමක් ඊයේ (13) දිනයේ දී වාර්තා වුණා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.98 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු සියල්ලක්ම පාහේ ඊයේ (13) දිනයේ දී ඩොලරයක විකුණුම් මිල රුපියල් 365 ක් ලෙසින් වාර්තා කර තිබුණා.

පසුගිය මාර්තු 09 දා සිට ශ්‍රී ලංකා රුපියලේ අගය පා කිරීමට ගත් තීරණයත් සමඟ විදෙස් මුදල් ඒකක හමුවේ ශ්‍රී ලංකා රුපියල විශාල වශයෙන් අවප්‍රමාණයට ලක්වීමක් දක්නට ලැබුණා.

මෙම පසුබිම තුළ පසුගිය බදාදා (11) පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියේ විනිමය අනුපාතිකයේ අභ්‍යන්තර අස්ථාවරත්වය කළමනාකරණය කිරීම සඳහා මහ බැංකුව මැදිහත් වන බවයි.

මේ අනුව විනිමය අනුපාතිකයේ පවතින අධික අස්ථාවරත්වය සැලකිල්ලට ගනිමින් 2022.05.12 දින නිකුත් කරන ලද චක්‍රලේඛය මඟින් පහත සඳහන් ක්‍රියාමාර්ග නිකුත් කිරීමට මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

  • මහ බැංකුව විසින් විනිමය වෙළෙඳපොළේ පෙර දින බර තැබූ නිත්‍ය එතැන් අනුපාතය මත පදනම්ව අන්තර් බැංකු ගනුදෙනු සඳහා USD/LKR මධ්‍යම අනුපාතිකය ප්‍රකාශයට පත් කරනු ඇති.
  • මෙහිදී අවසර ලත් USD/LKR විචලන ආන්තිකය ද මහ බැංකුව විසින් නිවේදනය කරනු ලැබේ. (එය + හෝ – ලෙස යොදා ගත හැකිය.)
  • මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී වානිජ බැංකුවලින් ඉල්ලා සිටින්නේ පාරිභෝගික ගනුදෙනු සඳහා අදාළ වන ගාස්තු තීරණය කිරීමේදී සාධාරණ ආන්තික පමණක් යොදා ගන්නා ලෙසයි.
  • ඉදිරි අනුපාතිකයන් (Forward rates) ද අන්තර් බැංකු නිත්‍ය අනුපාතිකය (Inter bank spot rate) සමඟ සමපාත විය යුතුය.
  • බලපත්‍රලාභී වානිජ බැංකුවල ගාස්තු සහ කොමිස් ව්‍යුහය සාධාරණ, විනිවිද භාවයෙන් යුතු විය යුතු අතර ගනුදෙනුවේ වටිනාකමට සමාන රුපියලේ අගය අනුව 3%ක් නොඉක්මවිය යුතුය.
  • ඒ අනුව ඊයේ (2022.05.13) දින සඳහා මධ්‍යම අනුපාතය රුපියල් 360.00 සිට (+/-) රුපියල් 2.60 ක අවසර ලත් වෙනසක් සහිතව විය යුතු වුණා.
    (colombotimes.lk)

The post ඩොලරයේ අගය ඊයේ පහළ ගිය හේතුව මෙන්න appeared first on Colombo Times.

Back to top button